Tuesday, June 17, 2025
Follow Us
ජාතික චිත්‍රපට සංවර්ධන කොමිසමක් පිහිටුවීම කඩිනමින්

මෙරට සිනමාව අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුතු කර්මාන්තයක් බවට ඔසවා තැබිය හැකි ප්‍රමාණාත්මක ගුණාත්මක සහ ව්‍යුහාත්මක වෙනස්කම් රාශියක් ඇති කළ හැකි පරිදි ජාතික චිත්‍රපට සංවර්ධන කොමිසම කඩිනමින් පිහිටුවන බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

දේශීය කතානාද සිනමාවට වසර 77ක් සහ ජාතික චිත්‍රපටි සංස්ථාවට වසර 52ක්‌ සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු සංවත්සර උළෙල ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී ප්‍රවාහන, මහමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී අමාත්‍යවරයා ‍ මේ බව සඳහන් කළේය.

ජාතික චිත්‍රපට සංස්ථාවේ නිර්මාතෘ දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ඡායාරූපයට පුෂ්ප උපහාර දැක්වීම සහ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ සිනමා ශිල්පීන් උදෙසා විශ්‍රාම වැටුප් පිරිනැමීම සංකේතවත් කරමින් කලාකරුවන් දස දෙනෙකු සඳහා අමාත්‍යවරයා ප්‍රමුඛ ආරාධිත අමුත්තන්ගේ සුරතින් විශ්‍රාම වැටුප් පිරිනැමීම සිදුවිය.

ශ්‍රී ලාංකේය සිනමාවට වසර 77 ක් සපිරීමට සමගාමීව නිකුත් කෙරුණු " චිත්‍රපට " සඟරාවේ විශේෂ කලාපය එළි දැක්වීමද මෙහිදී සිදු කෙරිණි.