Thursday, September 11, 2025
Follow Us
සෙංකඩගල පුර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද

සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද (30) රාත්‍රී වීදි සංචාරය කෙරේ.

රාත්‍රී හත පසුවී මිනිත්තු තුනට (රාත්‍රී 7.03) යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව නාථ, විෂ්ණු, පත්තිනි හා කතරගම යන සිව් මහා දේවාල පෙරහැර සමඟින් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතය.

ශ්‍රී දළදා මාලිගාවෙන් පිටත්වන පෙරහැර, දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ පැමිණ රජ වීදියෙන් යළි ශ්‍රී දළදා මාලිගාවට ගෙවැදීමට සිදුවේ.

පසුදින (31) අලුයම ශ්‍රී දළදා මාලිගා පෙරහැර සිව් මහ දේවලා පෙරහැර සමඟන් පිටත්ව දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, ඔස්සේ ගමන් කොට ගෙඩිගේ රජමහා විහාරස්ථානයට ගොස් එහිදී දළදා කරඩුව තැම්පත් කිරීම සිදුවේ. පසුව සිව් මහා දේවල සිය දේවාල කරා ගොස් පුදපූජා පැවැත්වීමෙන් පසු කටුකැලේ වීදිය ඔස්සේ ගැටඹේ දිය කපනා ගං තොටට පැමිණ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කරති.
සිව් වන රන්දෝලි පෙරහැර ඊයේ (29) වීදි සංචාරය කළ අතර එහිදී සධාතුක පෙරහැර කරඩුව වැඩම කරවන ලද්දේ රුහුණු කතරගම මහ දේවාලයේ වාසනා ඇතු විසිනි. එහිදී දෑලේ ගමන් ගත්තේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පංතියේ සිංහරාජා ඇතු සහ කැලණි රජ මහ විහාරයේ කණ්ඩුල හස්තියාය.
දීර්ඝ කාලයක් තිස්සේ මහනුවරට පැවැති වියළි කාලගුණික තත්ත්වය නිමා කරමින් මෙදින මහ වැසි ඇද හැලුණු අතර වැසි නොතකා සැදැහැවතුන් පෙරහැර නැරඹීමට එක්ව සිටියහ.