Thursday, September 11, 2025
Follow Us
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ‍ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ‍ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශයේ සංවිධාන දායකත්වයෙන් පසුගිය ජූනි  28 වෙනිදා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි.

ප්‍රජාතන්ත්‍රවාදි සමාජ ක්‍රමයක පාර්ලිමේන්තු  ක්‍රමය හා සම්ප්‍රදාය පිළිබඳව මෙරට තරුණ ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කරමින් එම  අත්දැකීම් ප්‍රායෝගිකව ළඟා කර දීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කෙරිණි.

 

මෙහිදී පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව මංගල සභාවාරයේදි අභිනව කතානායකවරයා තෝරාපත් කර ගන්නා ලදී. මන්ත්‍රීවරයන් සහ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව, එක් එක් විෂය ක්ෂේත්‍රයන්ට අදාළව කරුණු දක්වමින් පාර්ලිමේන්තු විවාදයක් ද  පැවැත්වීය.

අනතුරුව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක  ක්‍රියාවලිය පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ, ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ  හා සන්නිවේදන අධ්‍යක්ෂ (වැඩබලන) එච්.ඊ. ජනකාන්ත සිල්වා මහතා විසින් හරවත් දේශනයක් ඉදිරිපත් කළ අතර ශිෂ්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අමතා ඔවුන්ගේ දක්ෂතා පිළිබඳව අගය කිරීමද මෙහිදී සිදුවිණ.

වැඩසටහන අවසානයේදී පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පරිශීලනය සඳහා  පාසල් පුස්තකාලයට පාර්ලිමේන්තු ක්‍රියාදාමය පිළිබඳව තොරතුරු ඇතුළත් වටිනා ග්‍රන්ථ ප්‍රදානයක් ද සිදු කරන ලදී.