Tuesday, March 10, 2026
Follow Us
ඉන්ධන නොමැතිව පිරවුම්හල් රැසක් වැසෙයි

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන හිගයක් මතුව තිබෙනවා. ඇතැම් ඉන්ධන පිරවුම්හල් වසා දමා ඇති අතර ඉන්ධන පවතින පිරවුම්හල් ආශ්‍රිතව දිගු පෝලිම් පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

මහනුවර සහ අවට ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් රැසක් වසා දමා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර පැවසුවේ.

ගාල්ල නගරයේද පිරවුම්හල් රැසක් වසා දමා ඇති බව නෙත් නිවුස් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල් පැවසුවා.

නුවරඑළිය සහ අවට ප්‍රදේශවල පිරවුම්හල්වල දින තුනක් තිස්සේ ඩීසල් නොමැතිවීමෙන් රථ වාහන හිමියන් දැඩි අසීරුතාවට පත්ව සිටිනවා.

මේ අතර සිය වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය දැක්වීම සදහා ලංකා අයි ඕ සී සමාගමේ පෞද්ගලික බවුසර් හිමියන්ගේ සංගමයද ඉන්ධන බෙදාහැරීමෙන් ඉවත්ව ඇති බවයි ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පැවසුවේ.

(Neth)