සෞඛ්‍ය සේවයේ වෘත්තීය කාණ්ඩ හතරකට අයත් ක්ෂේත්‍ර 14ක් සඳහා නව නිලධාරීන් 1,444 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ (01) අරලියගහ මන්දිර පරිශ්‍ර රැස්වීම් ශාලාවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
දිවයින පුරා රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල පවතින මානව සම්පත් අවශ්‍යතා සපුරාලීම, සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ජනතාවට වඩාත් කඩිනම් හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම මෙම පත්වීම් ප්‍රදානයේ ප්‍රධාන අරමුණු වේ.
මෙහිදී කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන සේවා, ප්‍රාථමික ශිල්පීය සේවා, ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා සහ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා යන වෘත්තීය කාණ්ඩ හතරට අයත් නිලධාරීන් පත්වීම් ලැබූහ.
ඒ අනුව වෛද්‍ය සැපයීම් සහකාරවරුන් 06 දෙනෙකු, වාට්ටු ලිපිකරුවන් 50 දෙනෙකු, නිවාස පාලක/පාලිකාවන් 37 දෙනෙකු, සෞඛ්‍ය රියදුරන් 07 දෙනෙකු සහ රෝහල් ඕවර්සියර්වරුන් 121 දෙනෙකුට පත්වීම් හිමි විය.
එමෙන්ම සංචාරක බංගලා භාරකරුවන්, ෆෝක් ලිෆ්ට් යන්ත්‍ර ක්‍රියාකරුවන්, කරණවෑමියා, විකලාංග කාර්මික සහායකයන්, ජලනල කාර්මිකයන්, මැහුම් ක්‍රියාකරුවන් සහ අරක්කැමියන් ඇතුළු ක්ෂේත්‍ර සඳහාද නව පත්වීම් ලබාදී තිබේ.
මීට අමතරව සෞඛ්‍ය කාර්ය සහායකයන් 651 දෙනෙකු සහ ක්ෂේත්‍ර මදුරු මර්දන සහායකයන් 285 දෙනෙකු සඳහාද පත්වීම් ප්‍රදානය කෙරිණි.
රජය ජනතාව ලබාදුන් ජනවරම අනුව “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” ගොඩනැගීමේ අරමුණින් කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම අවස්ථාවේදී සඳහන් කළේය
රටේ මිලියන 21.7ක ජනතාවට එම අරමුණ ඉටුකර දීම සඳහා රාජ්‍ය සේවයේ නිරත සෑම පුද්ගලයෙකුම තම වගකීම් නිසි ලෙස ඉටු කළ යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
සෞඛ්‍ය සේවය අනෙකුත් ක්ෂේත්‍රවලට වඩා සුවිශේෂී වැදගත්කමක් දරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, සෞඛ්‍ය සේවාව වෙත පැමිණෙන ජනතාව තම ජීවිතය සුරක්ෂිත කර ගැනීමට සහ නිරෝගීව ජීවත්වීමට බලාපොරොත්තුවෙන් පැමිණෙන බව සඳහන් කළේය.
දැන හැඳුනුම්කම් සහ හිතවත්කම්වලින් තොරව සෑම පුරවැසියෙකුටම සමානව සේවය සැපයීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණ බවද අමාත්‍යවරයා පැවසීය.
තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම භාරගත් කාලය තුළ මුහුණ දුන් ප්‍රධාන ගැටලුවක් වූයේ ප්‍රමාණවත් මානව සම්පතක් නොමැති වීම බවත් මේ වන විට එම ගැටලුව විසඳීම සඳහා සැලකිය යුතු බඳවා ගැනීම් සිදුකර ඇති බවත් ඔහු සඳහන් කළේය.
රෝගියා සමඟ සෘජුව සම්බන්ධ වන කාර්ය මණ්ඩලය පමණක් නොව සෞඛ්‍ය සේවාවේ සෑම සේවකයෙකුගේම දායකත්වය අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා, අද පත්වීම් ලබන සියලු දෙනාම එම සත්කාර සේවාවේ වැදගත් කොටස්කරුවන් බව අවධාරණය කළේය.
එමෙන්ම වත්මන් රජය ලබාදෙන කිසිදු පත්වීමක් දේශපාලන පදනම මත ලබාදෙන පත්වීම් නොවන බවත් තම පත්වීම් සහ උසස්වීම් පිළිබඳව ගෞරවයෙන් කතා කළ හැකි වාතාවරණයක් රට තුළ නිර්මාණය කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.