Thursday, January 29, 2026
Follow Us

කළුතර දිස්ත්‍රික්කයේ පළාත් සභා යටත් වන රෝහල් සංවර්ධනය සඳහා මෙම වසරට රුපියල් මිලියන 350 ක් වෙන් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

මෙරට ජීවත්වන ජනතාවට ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව ‌සෞඛ්‍ය  සේවා රැකවරණ පද්ධතියේ ප්‍රශස්ත ප්‍රතිලාභ වඩාත් සමීපව භුක්ති විදීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා රජය ගෙනයන වැඩපිළිවෙල යටතේ කළුතර ඉත්තෑපාන දිස්ත්‍රික් රෝහලේ භෞතික සම්පත සංවර්ධනයට පියවර ගනිමින්  නවීකරණය කරන ලද නව බාහිර රෝගී  අංශය සහ හදිසි ප්‍රතිකාරය ඒකකය (OPD & ETU Copmplex) ජනතා අයිතියට පත් කිරීම ඊයේ (28) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ  එම රෝහල් පරිශ්‍රයේදී සිදු කෙරිණි.

ඉත්තෑපාන දිස්ත්‍රික් රෝහලේ පැරණි පිරිමි වාට්ටුව පැවැති ස්ථානයේ රෝහලේ ප්‍රමුඛ අවශ්‍යතාවයකට අනුව  රුපියල් මිලියන 50 ක මුදලක් වැය කරමින් මෙම නව ගොඩනැගිල්ල ඉදිකර ඇති අතර, රෝහලේ මෘත ශරීරාගාරය, දන්ත  ශල්‍යාගාරය, සායනික ඒකකය සහ සායනික අපද්‍රව්‍ය කළමණාකරණ ඒකකය ඇතුළු ඉදිරි සංවර්ධන ව්‍යාපෘති සඳහා තවත් රුපියල් මිලියන 20 ක මුදලක් ද වෙන් කර ඇත.

ප්‍රදේශයේ 20,000 ක් පමණ වන ජනතාවකට  උසස් තත්ත්වයේ රෝග ප්‍රතිකාර සේවාවන් ලබාදෙන ඉත්තෑපාන රෝහලේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ ක්‍රියාත්මක හා යෝජිත රෝහලේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවත්, මානව හා භෞතික සම්පත් ප්‍රවර්ධනය පිළිබඳවත් ඉත්තෑපාන දිස්ත්‍රික් රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ඩබි.ඩි.ජි.එස් විජේසේකර මහතා මෙහි දී කරුණු පැහැදිලි කිරීමක් ද සිදු කරන ලදි.

මෙහි දී පැවැති උත්සව සභාව අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉත්තෑපාන රෝහලට නව ගොඩනැගිල්ලක් සහ පහසුකම් ලැබුනේ පසුගිය වසරේ රජය වෙන් කළ රුපියල් ලක්ෂ 635 ක මුල්‍ය ප්‍රතිපාදන වලින් බව පැවසීය.

රෝහල්වල නතර කර තිබූ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කරමින්, වෛද්‍ය, හෙද ඇතුළු මානව සම්පත් බඳවා ගනිමින් සිදු කරමින් ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවා තෘප්තිමත්භාවය ඉහළ නංවමින් සියළු වෘත්තීන් සඳහා අවශ්‍ය පුහුණුවීම් ලබාදීමට ද පියවර ගන්නා බවත්, සෞඛ්‍ය සේවාව ඩිජිටල්කරණයට ලක් කරන බව ද පැවසීය.

රාජ්‍ය නි‌ලධාරීන්ගේ වාහන අවශ්‍යතාව ද මෙම වසරේ සපුරාලීමට කටයුතු කරන බවත් මෙම වසරේ  වැටුප් වැඩිවීම මත රජය අමතරව රුපියල් බිලියන 220 ක් වෙන් කර  ඇති බව ද පැවසීය.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පළාත් සභා රෝහල් සංවර්ධනය සඳහා මෙම වසරට රුපියල් මිලියන 350 ක් වෙන් කර ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසීය.

සෞඛ්‍ය කාර්ය සහායක තනතුරට 1900 ක් බඳවා ගැනීමට අඳාලව ඉල්ලුම්පත් 78,000 ක් වැනි විශාල ප්‍රමාණයක් ඉදිරිපත්ව ඇති බවත් කඩිනමින් එම පත්වීම් ලබාදීමට පියවර ගන්නා බව ද ඒ අනුව සෞඛ්‍ය කාර්ය සහායක පුරප්පාඩු වලින් සියයට 65 ක් පමණ සමිපුර්ණ කළ හැකි බව ද පැවසු අතර උපස්ථායක උසස්වීම් ලබාදෙන බව ද පැවසීය.

සෞඛ්‍ය සේවාවේ බෝනොවන රෝග අභියෝගයක්ව ඇති බවත්, ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංවර්ධනයට රජය ප්‍රමුඛත්වයක් ලබාදෙන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.