Friday, January 16, 2026
Follow Us
ලංකා ධීවර සංස්ථාව ලාභ කරන්න නව සැලැස්මක්

ලංකා ධීවර සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත් කර ජාතික ආර්ථිකයේ ප්‍රධාන පාර්ශ්වකරුවෙකු බවට පත් කෙරෙන නව සැලැස්මක් මෙම වසරේ ක්‍රියාත්මක වන බව ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය, රත්න ගමගේ මහතා අවධාරණය කරයි. ‍

ධීවර සංස්ථාව විශාල ප්‍රතිසංස්කරණයකට ලක් කෙරෙන මෙම සැලැස්ම මත්ස්‍ය මිලදී ගැනීම් ඉහළ නැංවීම, සමස්ත පිරිසිදු කිරීම,නවීකරණය,වෙළෙඳපොළ ව්‍යාප්තිය, කාණ්ඩ ඒ යටතේ ක්‍රියාත්මක කෙ‌රේ.

එහිදී දේශීය ධීවරයින්ට ස්ථාවර සහ සාධාරණ වෙළෙඳපොළක් නිර්මාණය කරමින්, දැනට 1% මට්ටමේ පවතින මත්ස්‍ය මිලදී ගැනීමේ වෙළෙඳපොළ කොටස, ක්‍රමානුකූලව ප්‍රශස්ත මට්ටමක් දක්වා ඉහළ නැංවීම, නව ශීතාගාර විසඳුම් ක්‍රියාත්මක කිරීම සහ බෙදාහැරීමේ හා අලෙවි ජාලයන් විධිමත් කිරීම, දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කරගත් උපායමාර්ගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම, භෞතික පිරිසිදුකමට අමතරව, කාර්යක්ෂම මූල්‍ය සහ මෙහෙයුම් කළමනාකරණයක් සඳහා ආයතනික සංස්කෘතියේ වෙනසක් ඇති කිරීම සිදු කෙරෙනු ඇත.

ධීවර සංස්ථාවේ වැඩබලන සභාපති, නවුරස් මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම සැලැස්ම සකස් කර තිබේ.

දිගින් දිගටම පාඩු ලබමින් පැවති ලංකා ධීවර සංස්ථාව (CFC), පුනර්ජීවනය කිරීමේ අරමුණින් වන 2026 වාර්ෂික වැඩ සැලැස්ම දා දින “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනට සමගාමීව ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය, රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා( 14)ආරම්භ විය.

අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ධීවර සංස්ථා පරිශ්‍රයට පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා, නව උපායමාර්ගික සැලැස්ම සමාලෝචනය කළේය. ආයතනයට නව ආරම්භයක් සනිටුහන් කරමින්, සංස්ථාවේ ගොඩනැගිලි සහ භූමිය පිරිසිදු කිරීමේ මහා ශ්‍රමදාන වැඩසටහනකින් මෙම අවස්ථාව ආරම්භ කළේය.