Sunday, June 01, 2025
Follow Us
වසා දැමුණු තුල්හිරිය සහ පූගොඩ පෙහෙකම්හල් සේවකයින්ට වන්දි

978 වසරේදී දේශපාලන හේතු මත වසා දැමුණු ජාතික පේෂකර්ම සංස්ථාවට අයත්ව තිබූ තුල්හිරිය සහ පූගොඩ පේෂකර්මාන්ත ශාලාවල සේවය අහිමි වූ සේවකයින්ට වන්දි ලබා දීම අද (30) සිදු කෙරිණි.

කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය සිදු කළ අතර රැකියා අහිමි වූ සේවකයින් 1,717 දෙනෙකු මෙහිදී ප්‍රතිලාභ හිමිවිය. ඒ සඳහා රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 87කි. 

අවසන් බේරුම්කිරීමක් ලෙස මෙම වන්දි ප්‍රදානය කිරීමට කම්කරු අමාත්‍යංශය පසුගියදා තීරණය කළ අතර මීට කැබිනට් අනුමැතියද හිමිවිය .එහිදී ප්‍රතිලාභීන්ගෙන් යම් පිරිසක් මේ වන විට මියගොස් ඇති බැවින් ඒ අනුව ඔවුන්ගේ කලත්‍රයින්ට අදාළ වන්දි මුදල් හිමිවනු ඇත. 

වන්දි ප්‍රදානය වෙනුවෙන් අද පැවැති සංකේතාත්මක වැඩසටහනට ප්‍රතිලාභීන් තිස් දෙනෙකු සහභාගී කෙරුණු අතර සෙසු ප්‍රතිලාභ හිමි සේවකයින්ට දිස්ත්‍රික්ක කම්කරු කාර්යාලය හරහා සිය වන්දි මුදල ලබා ගත හැකි බවද කම්කරු අමාත්‍යංශය සඳහන් කරයි.