පළාත් සභා මැතිවරණයේ කාන්තා සහ තරුණ නියෝජනය ඉහළ නැංවීම සම්බන්ධයෙන්, මැතිවරණ කොමිෂන් සභාව විසින් සකස් කළ තාක්ෂණික වාර්තාවක් පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවහමුවට, ඉදිරිපත් කෙරිණි.
අමාත්ය විජිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ මෙම විශේෂ කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ගේ සංසදයේ සභාපතිනි අමාත්ය සරෝජා සාවිත්රි පෝල්රාජ් මහත්මිය ඇතුළු සංසදයේ සාමාජික මන්ත්රීවරියන් ද සහභාගි විය.
මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ වාර්තාව මගින් පවතින සමානුපාතික නියෝජන ක්රමය සහ මැතිවරණ ප්රතිඵල නොවෙනස්ව පවත්වාගෙන යමින් කාන්තා සහ තරුණ නියෝජනය ඉහළ නැංවීම සඳහා යෝජනා කර ඇති තාක්ෂණික ක්රමවේදය පිළිබඳ කරුණු පැහැදිලි කරන ලදී.
මෙම යෝජිත මැතිවරණ ක්රමවේදය තුළ කාන්තා සහ තරුණ නියෝජනය තහවුරු කිරීමේදී මතුවිය හැකි නීතිමය හා ප්රායෝගික ගැටලු පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර අධ්යයනය කිරීමෙන් අනතුරුව ඉදිරි රැස්වීමකදී නැවත සාකච්ඡා කිරීමට තීරණය කෙරිණි.
පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණවලදී කාන්තා නියෝජනය අවම වශයෙන් 33% ක් දක්වා ඉහළ නැංවිය යුතු බව එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ගේ සංසදය ඒකමතිකව අවධාරණය කරන ලදී. ඒ අනුව, අදාළ මැතිවරණ ක්රමවේදය සකස් කිරීමේදී එම ප්රතිපත්තිමය තීරණය සැලකිල්ලට ගත යුතු බව ද සංසදය විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.
මෙම රැස්වීම සඳහා නියෝජ්ය අමාත්යවරුන් වන අරුන් හේමචන්ද්ර, නීතිඥ සුනිල් වටගල, යන මහත්වරුන් සහ සාමාජික ගරු මන්ත්රීවරුන් වන ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, ධර්මප්රිය විජේසිංහ, සමන්මලී ගුණසිංහ, ලක්ෂ්මන් නිපුණ ආරච්චි යන මහත්ම මහත්මින් මෙන්ම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ඇතුළු එම කොමිෂන් සභාවේ සාමාජිකයෝ සහභාගී වී සිටියහ.