• පාර්ලිමේන්තු විශ්රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පෙබරවාරි 17
පාර්ලිමේන්තුව පෙබරවාරි 17 වන අඟහරුවාදා සිට 20 වන සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. 2026.02.06 වන දින කථානායක (වෛද්ය) ජගත් වික්රමරත්න මහතාගේ ප්රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත.
පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න සඳහා වෙන් කර තිබේ.
මේ අනුව 2026 පෙබරවාරි 17 වන අඟහරුවාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා පාර්ලිමේන්තු විශ්රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත (දෙවන වර කියවීම) විවාදයට ගැනීමට සහ ප.ව. 5.00ට මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහාත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීම සඳහා වූ යෝජනාව ද අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටද නියමිතය.
අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ දී අසනු ලබන ප්රශ්න සඳහා කාලය වෙන්කර තිබේ.
2026 පෙබරවාරි 18 වන බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් තුනක්, (235 අධිකාරය වූ) රේගු ආඥාපනත යටතේ අංක 2464/15 දරන අතිවිශේෂ ගැසට් පත්රයේ පළ කර ඇති යෝජනා සම්මතය සහ (203 අධිකාරය වූ) මෝටර් වාහන පනත යටතේ නියෝග දෙකක් විවාදයට ගෙන අනුමත කිරීමට නියමිතව තිබේ.
ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.
2026 පෙබරවාරි 19 වන බ්රහස්පතින්දා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සහ විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී ඇත.
අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ දී අසනු ලබන ප්රශ්න සඳහා කාලය වෙන්කර තිබේ.
2026 පෙබරවාරි 20 වන සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන, “බලශක්ති ක්ෂේත්රයේ පවතින ගැටලු” යන මැයෙන් වූ යෝජනාවකට අනුව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමටත් මෙහිදී එකඟත්වය පළ වී තිබේ.