Monday, February 02, 2026
Follow Us
පරිවර්තනීය වෙනසක් සිදු කිරීමේදී මානව සම්පත ගුණාත්මක ලෙස දියුණු කිරීම වැදගත් සාධකයක් වනවා- අගමැතිනී
 
රටේ සමස්ත පෙරපාසල් පද්ධතිය නියාමනය කළ හැකි ආකාරයේ වැඩපිළිවෙළක් හඳුන්වා දීමට කටයුතු කරනවා
-අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය-
පරිවර්තනීය වෙනසක් සඳහා මානව සම්පත ගුණාත්මක ලෙස දියුණු කිරීම වැදගත් සාධකයක් බවත්, එහිදී රටේ සමස්ත පෙරපාසල් පද්ධතිය නියාමනය කළ හැකි ආකාරයේ වැඩපිළිවෙලක් හඳුන්වාදීමට බලාපොරොත්තු වෙන බවත් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ප්රකාශ කළා ය.
 
අග්රාමාත්යතුමිය මේ බව ප්රකාශ කළේ අද (02) බස්නාහිර පළාත් සභා ශ්රවණාගාරයේදී පැවැති, 'බස්නාහිර පළාතේ පෙරපාසල් ප්රමිතිගත ව පවත්වාගෙන යාම සඳහා පෙරපාසල් ගුරුවරුන් වෙත සම්මත පොදු අකෘති පත්ර කට්ටල බෙදා දීමේ උත්සවය' අමතමිනි.
 
පෙරපාසල් ප්රමිතිගත ව පවත්වාගෙන යාම සඳහා අවශ්ය පොත් කට්ටල ගුරුවරුන් වෙත ලබාදීම අග්රාමාත්යතුමියගේ ප්රධානත්වයෙන් මෙහිදී සිදු විය.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ අග්රාමාත්යවරිය,
 
රජයක් ලෙස දරුවන්ට ලැබෙන පූර්ව ළමාවිය අධ්යාපනයේ ස්ථාවරභාවය, ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ ඒ තුළින් දරුවාට ලැබෙන ආභාසය ජාතික අධ්යාපන ඉලක්ක එක්ක පෙළගැසී තිබෙන බවට සහතික කිරීම අපේ වගකීමයි. ඒ සඳහා සිදුකළ යුතු මැදිහත්වීම අපෙන් සිද්ධවෙනවා. නව අධ්යාපන ප්රතිසංස්කරණ තුළ ප්රාථමික අධ්යාපනයට පිවිසීම සඳහා පෙරපාසල් අධ්යාපනය අනිවාර්ය සාධකයක් ලෙස අප දකිනවා. එහිදී පෙරපාසල් ගුරුවරුන් ලෙස ඔබ කරමින් ඉන්නා කාර්යයේ ගුණාත්මකභාවය තවත් ශක්තිමත් කරමින් පවත්වාගෙන යාමට රජය විසින් සිදුකළ හැකි සෑම දෙයක්ම සිදු කරන්න අප බලාපොරොත්තු වෙනවා.
බස්නාහිර පළාත් සභාවේ ප්රධාන මැදිහත්වීමෙන් බස්නාහිර අධ්යාපන අමාත්යාංශය සහ පළාත් අධ්යාපන දෙපාර්තමේන්තුව විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.