යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අමාත්යාංශ හතරක 2025 අයවැය යෝජනාවලට අදාළ ප්රගතිය විමසයි
ඇතැම් ආයතනවල අකාර්යක්ෂමතාවය පිළිබඳ කාරක සභාව නොසතුට පළ කරයි - නැවත කැඳවන විට ඇල්මැරුණු තාක්ෂණික පිළිතුරු වෙනුවට දින වකවානු සහිත නිශ්චිත සැලැස්මක් සමග පැමිණෙන ලෙසටත් දැනුම් දෙයි.
ජනතාව අපේක්ෂා සහඟතව බලා සිටින, අයවැය යෝජනා ඉටුකිරීම පිණිස කාර්යක්ෂම ලෙස කටයුතු කිරීමේ අවශ්යතාව කාරක සභාව අවධාරණය කරයි
අමාත්යාංශ හතරක 2025 වර්ෂයේ අයවැය යෝජනාවලට අදාළ මූල්ය සහ භෞතික ප්රගතිය පිළිබඳව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් විමසන ලදී.
ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම් මරික්කාර් මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා (11) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මේ අනුව බලශක්ති අමාත්යාංශය, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්යාංශය, නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්යාංශය සහ ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන යන අමාත්යාංශවල 2025 වර්ෂයට අදාළ අයවැය යෝජනාවල මූල්ය සහ භෞතික ප්රගතිය සොයා බැලීම සිදු කෙරිණි. මෙම අමාත්යාංශ ලේකම්වරු සහ අදාළ ආයතන ප්රධානීන් මෙම රැස්වීමට කැඳවා තිබිණි.
කැලණිවැලි දුම්රිය මාර්ගය වෙනුවෙන් ගිය වසරේ රු. මිලියන 250ක මුදල් වෙන් කළද එහි ප්රගතිය පහළ මට්ටමක පැවතීම පිළිබඳව මෙහිදී අවධානය යොමුවිය. පසුගිය මාර්තු මාසයේ අයවැයෙන් මුදල් වෙන්කළද මෙතෙක් දක්නට ලැබෙන ප්රගතිය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව ඉන් පිළිඹිබු වන බවත් කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.
මෙම වසරේද අයවැය යෝජනා මගින් කැලණිවැලි දුම්රිය මාර්ගය වෙනුවෙන් රු. මිලියන 840ක මුදල් වෙන් කළද නිසි සැලැස්මක් සහිතව කාර්යක්ෂම ලෙස කටයුතු නොකළහොත් ඉලක්කගත ප්රගතිය අපේක්ෂා කළ නොහැකිවනු ඇති බවද අවසානයේ සිදුවන්නේ ජනතා අපේක්ෂාවන් නිසි කලට ඉටු නොවීම බවද කාරක සභාව පෙන්වා දුන්නේය.
තඹුත්තේගම දුම්රිය ස්ථානය සංවර්ධනය සඳහා 2025 අවැයෙන් වෙන්කළ මුදල් භාවිතා කිරීමේ ප්රගතිය පිළිබඳව ද මෙහිදී විමසා සිටි අතර නිලධාරීන් ඉදිරිපත් කළ තාක්ෂණික කරුණු පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බවත් කාරක සභා සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
අයවැය යෝජනා මගින් මුදල් වෙන් කළ ද දිගින් දිගටම ව්යාපෘති ප්රමාද වීමත් ඒ අනුව අවසානයේ එම මුදල් නැවත භාණ්ඩාගාරයට යැවීමට සිදුවීම කණගාටුදායක බව පැවසූ කාරක සභාව ඒ සම්බන්ධයෙන් සිය නොසතුට පළකර සිටියේය. ඒ අනුව ඇල්මැරුණු තාක්ෂණික පිළිතුරු වෙනුවට දින වකවානු සමඟ නිවැරදි සැලසුම් ඉදිරිපත් කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කාරක සභාව විසින් දැනුම් දෙන ලදී. අයවැය මගින් වෙන්කරන ලද මුදල් භාවිතා කිරීමේ ප්රගතිය සොයා බැලීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්රී ලංගම ඇතුළු අවශ්ය ආයතන නැවත කාරක සභාවට කැඳවන බවත් එසේ පැමිණෙන විට සියලු නිවැරදි දත්ත තොරතුරු සමග පැමිණෙන ලෙසත් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
මහාමාර්ග හා ග්රාමීය පාලම් ප්රතිසංස්කරණය, නව බස්රථ මිලදී ගැනීම, නාගරික සංවර්ධන අධිකාරියට අදාළ වන කොළඹ මහල් නිවාස අලුත්වැඩියාව ඇතුළු පවතින ගැටලු, බලශක්ති ක්ෂේත්රයේ ඉදිරි ඉලක්ක ඇතුළු මෙම අමාත්යාංශ හතරෙහි අයවැය යෝජනාවල ප්රගතිය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
එසේම කාරක සභාව මීට පෙර දැනුම් දී ඇති පරිදි ගාලු වරාය ලාභ ලබන තත්ත්වයට පත්කිරීමට ඇති හැකියාව පිළිබඳ වාර්තාව කඩිනමින් ලබා දීමට කටයුතු කරන ලෙසත් එම නිලධාරීන්ට දැනුම් දුන්නේය. එසේම මීට පෙර කාරක සභාවේදී අනාවරණය වූ කරුණු අනුව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කාර්ය සාධනය පිළිබඳව සිය ප්රශංසාව පළ කරන බව කාරක සභා සභාපතිවරයා පැවසීය.
කාරක සභා සාමාජික ගරු මන්ත්රීවරයන් වන නලින් බණ්ඩාර ජයමහ, මංජුල සුරවීර ආරච්චි, රවීන්ද්ර බණ්ඩාර, ජගත් විතාන, ශාන්ත පද්ම කුමාර සුබසිංහ සහ නීතිඥ ගීතා හේරත් යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.