Friday, November 07, 2025
Follow Us
නවීකරණය හා ඩිජිටල්කරණයට 2026 අයවැයෙන් ගෙනා යෝජනා

2026 අයවැය යෝජනාව අද (07) පර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා  ඩිජිටල් පරිවර්තනයක් සඳහා වන යෝජනාවලියක් මෙසේ ඉදිරිපත් කළේය.

"ඩිජිටල් ආර්ථික සංවර්ධනය යනු සැමට ප්‍රතිලාභ සැලසෙන ආර්ථික වර්ධනයට සහ ගෝලීය තරඟකාරිත්වයට තීරණාත්මක මාවතකි.සංවර්ධන මාවතේ ශ්‍රී ලංකාවට බොහෝ අවස්ථාවන් මග හැරී ඇති නමුත් මෙම ඩිජිටල්කරණ අවස්ථාව අතපසු නොකළ යුතුය. 2026 වසරේ දී රුපියල් මිලියන 25,500 කට අධික රජයේ ආයෝජනයත් සමඟ, ශ්‍රී ලංකාවට ඩිජිටල් පරිවර්තනයේ සැලකිය යුතු කොටසක් අත්පත් කර ගැනීමට හැකියාව තිබෙනවා. යටිතල පහසුකම් අවශ්‍යතාවයන් සැපයීම, ආයෝජන ක්‍රියාවලීන් විධිමත් කිරීම සහ නවෝත්පාදන-හිතකාමී පරිසරයන් පෝෂණය කිරීම යන යෝජනාවන් තිරසාර ඩිජිටල් දියුණුව සඳහා ක්‍රියාකාරී මාර්ග සිතියමක් සපයනවා.

  • රාජ්‍ය ආයතනවලට අදාළ ගෙවීම් කිරීමට GovPay පද්ධතිය ප්‍රචලිත කිරීම, ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටුවීම, ජනාධිපති අරමුදල, තානාපති කාර්යාලවලින් පුරවැසියන්ට ලබා දෙන ලේඛන සේවා ඩිජිටල්කරණය කිරීම, GovTech ආයතනය පිහිටුවීම වැනි ව්‍යාපෘති මේ වන විටත් අවසන් කර තිබෙනවා. එය අපේ ඩිජිටල් පරිවර්තනයේ විශාල පියවරක්. ඉදිරියේ දී ස්ථාපිත කිරීමට නියමිත ඩිජිටල් ආර්ථික අධිකාරිය සහ 5G බලපත්‍ර සාර්ථකව ලබා දීම වැනි කාර්යයන් ඩිජිටල් පිවිසුමේ ඉතාමත් ශක්තිමත් පියවරක් වෙනවා. සෑම පුරවැසියෙකුගේම සහභාගිත්වය සහතික කිරීම සඳහා රට පුරා බ්‍රෝඩ්බෑන්ඩ් ප්‍රවේශය පුළුල් කරමින් සහ සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගනිමින් අළුත් ව්‍යවසායකයන්ට සහාය දක්වන සුදුසු වටාපිටාවක් සකස් කරමින් සිටිනවා. කෘත්‍රීම බුද්ධිය, ක්ලවුඩ් (cloud) පරිගණක සහ දත්ත මධ්‍යස්ථාන ඇතුළුව ඊළඟ පරම්පරාවේ ඩිජිටල් යටිතල පහසුකම් සඳහා රුපියල් මිලියන 3,000 ක් වෙන් කර තිබෙනවා.
  • දත්ත ආරක්‍ෂණ අධිකාරිය ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි පුද්ගලික දත්ත ආරක්‍ෂණ පනත සංශෝධන සහිතව සම්මත කර තිබෙනවා. තවද, දැනට සකස් කරමින් පවතින ඩිජිටල් ආර්ථික පනත මඟින් ඩිජිටල් ආර්ථික අධිකාරිය මෙන්ම ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව සහ ඩිජිටල් ආර්ථික කවුන්සිලය පිහිටුවීමට කටයුතු කරනවා.
  • ශ්‍රී ලාංකීය ඒකීය ඩිජිටල් අනන්‍යතාවය (SLUDI), ජාතික දත්ත හුවමාරුව, ලංකා රජයේ ක්ලවුඩ් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ රජයේ සේවාවන් සැපයීමට තනි පියැසි ඩිජිටල් අතුරුමුහුණතක් (Single Roof Digital Intefece) සඳහා මෘදුකාංග නිර්මාණය කිරීම වැනි ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැඟීමේ තීරණාත්මක ක්‍රියාමාර්ග රැසක් ආරම්භ කර තිබෙනවා. 2026 වසර මුල දී ශ්‍රී ලංකාවෙහි ඒකීය ඩිජිටල් අනන්‍යතාවය (SLUDI) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරනවා. 2026 වසරේ 3 වන කාර්තුවේ දී පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරනවා.
  • මුදල් නෝට්ටු භාවිතයට ඇති නැඹුරුතාවය අඩු කර ඩිජිටල් මාර්ගයන්ගෙන් ගනුදෙනු කරන සමාජයක් කරා පරිවර්තනය කරවීම ආරම්භ කර තිබෙනවා. මෙම පරිවර්තනයේ අරමුණ වන්නේ ගනුදෙනු පහසුකරවීම, ඒ සඳහා යන වියදම අඩු කිරීම, මුදල් අවභාවිතයන් අවම කිරීම හා කාර්යක්ෂමතාවය වැඩි කිරීමයි. 2025 වසරේ පළමු කාර්තුව තුළ රජයේ ගෙවීම්වල දී Lankapay මාර්ගගත ක්‍රමවේදය හරහා පමණක් රුපියල් බිලියන 2,000 කට වැඩි ගනුදෙනු සිදුව තිබෙනවා. මුදල් නෝට්ටු රහිත සමාජයක් ඇති කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා, සියලුම රජයේ ගනුදෙනු සඳහා මාර්ගගත ගෙවීම් මාදිලිය හරහා පහසුකම් ලබා දීමට යෝජනා කරනවා. ආරම්භයක් ලෙස මේ සඳහා දිරිගැන්වීමක් ලබා දීමට රාජ්‍ය ආයතනවලට ගෙවීම් කිරීමේ දී සේවා ගාස්තු අය නොකිරීමට යෝජනා කරනවා. මෙම ගනුදෙනු පිරිවැය ආවරණය කිරීම්, පද්ධති වැඩිදියුණු කිරීම් සහ මහජන දැනුවත් කිරීම් සඳහා රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා. තවද, අවශ්‍ය පහසුකම් සැලසීමට හා ප්‍රවර්ධන වැඩසටහන් සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කර තිබෙනවා.
  • මේ අනුව, 2026 වසරේ ජනවාරි මස 1 වන දින සිට, රජයේ ආයතන වෙත ඉලෙක්ට්‍රොනික ගෙවීම් සඳහා වන සියලුම සේවා ගාස්තු ඉවත් කිරීමට අවසර ලබා දෙනවා. තවද, QR කේත ක්‍රමයට අනුව ගෙවීම් ප්‍රවර්ධනය කිරීම සඳහා, රුපියල් 5,000 ට අඩු වටිනාකමක් ඇති QR කේත ගෙවීම් කිසිම පිරිවැයකින් තොරව සිදු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැය ශීර්ෂය හරහා ලබා දෙන්නට යෝජනා කරනවා.
  • ශ්‍රී ලංකාවට දත්ත මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා කළාප මධ්‍යස්ථානයක් ලෙස විකාශනය වීමට ඉහළ විභවතාවයක් තියෙනවා. දත්ත මධ්‍යස්ථාන සඳහා ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ දී අප විසින් ගත යුතු තීරණාත්මක පියවර රැසක් තිබෙනවා. ඒ අතර, දත්ත ආරක්ෂාව, රහස්‍යභාවය, පෞද්ගලිකත්වය, හා ඩිජිටල් පාලන නීති පද්ධති සවිබල ගන්වමින් ආයෝජක විශ්වාසය තහවුරු කිරීම අවශ්‍ය වෙනවා. එය දැනටමත් අප විසින් සිදුකරමින් පවතිනවා. මෙම ආයෝජනයන් දිරි ගැන්වීම සඳහා මූල්‍ය සහන, හරිත බලශක්ති භාවිත සහන, ආරම්භක අදියරේ දී අඩු පිරිවැයට විදුලිය, අවශ්‍ය ඉඩම් සහනදායී ලෙස ලබා දීම හරහා විදේශීය සහ දේශීය ආයෝජකයන්ට මෙම ක්ෂේත්‍රයේ ආකර්ෂණීය වාතාවරණයක් සකස් කළ යුතු වෙනවා. මේ සඳහා ආරම්භයක් ලෙස 2026 වසර සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
  • ඩිජිටල් යටිතල පහසුකම් සහ කෘත්‍රීම බුද්ධිය ප්‍රමුඛ, නවෝත්පාදනයන්හි කලාපීය ප්‍රමුඛයෙකු ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයන් සහ උපායමාර්ගික ඩිජිටල් යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා මධ්‍ය කාලීන අරමුදල් රජය විසින් සපයනවා. නවෝත්පාදනයන් වර්ධනය කිරීම, තෝරාගත් කෘත්‍රීම බුද්ධි ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීම, විදේශීය පුහුණු ශිෂ්‍යත්ව සහ දේශීය භාෂා දත්ත කට්ටල සංවර්ධනය කිරීම, විශ්ව විද්‍යාල සහ පාසල් ක්ෂේත්‍රයේ පර්යේෂණ සහ සංවර්ධන අරමුණු වෙනුවෙන් කෘත්‍රීම බුද්ධිය සහ ක්ලවුඩ් පහසුකම් ලබා දීම සඳහා රුපියල් මිලියන 750 ක් වෙන් කර තිබෙනවා.
  • සියලු පුරවැසියන්ට ඩිජිටල් තාක්ෂණය සඳහා ප්‍රවේශය පුළුල් කිරීම පිණිස, අධ්‍යාපනය හා සම්බන්ධ ප්‍රවේශයන් සඳහා බ්‍රෝඩ්බෑන්ඩ් වවුචර්, අස්වැසුමලාභීන් සහ අනෙකුත් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට ලබාදීමට අපේක්ෂා කරනවා. එමඟින්, මාර්ගගත අධ්‍යාපනය සහ ඩිජිටල් ආර්ථිකයට සහභාගී වීම වඩාත් සක්‍රීය කිරීම අරමුණ වෙනවා. මෙමඟින්, සැමට ප්‍රතිලාභ සැලසෙන ඩිජිටල් අනාගතයක් නිර්මාණය කිරීම සහතික කෙරෙනවා.   
  • ඩිජිටල් තාක්ෂණයේ ව්‍යාප්තිය වේගවත් කිරීම සඳහා, සන්නිවේදන කුළුණු වැනි ඩිජිටල් යටිතල පහසුකම් ඉදිකිරීම සඳහා වඩාත් සරල වූ සහ කඩිනම් අනන්‍ය අනුමත කිරීමේ ක්‍රියාවලියක් ස්ථාපිත කරනු ලබනවා. මෙම ඩිජිටල් තාක්ෂණ ව්‍යාප්ති වැඩසටහන යටතේ ඉදිකරන ලද නව කුළුණු සඳහා අදාළ වන බද්ද වසර 5 ක කාලයක් සඳහා අත්හිටුවීමට යෝජනා කරනවා.
  • ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා, ඇරඹුම් සඳහා වන වටපිටාවෙහි (Star-ups ecosystem) වර්ධනය වේගවත් කිරීම සඳහා අරමුදලක් 2026 වසරේ දී පිහිටුවනවා. එම අරමුදල පිහිටුවීම සඳහා මූලික රාජ්‍ය අනුග්‍රහය ලෙස රුපියල් මිලියන 1,500 ක් (ඩොලර් මිලියන 5 ක්) ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ වෙන්කර තිබෙනවා.  
  • අපනයන සහ රැකියා උත්පාදනය කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමට ඉඩ සැලසීම සඳහා ආයෝජන මණ්ඩලය හරහා “අතථ්‍ය විශේෂ ආර්ථික කලාපයක්” ද (Virtual Special Economic Zones) ස්ථාපනය කිරීමට යෝජනා කරනවා"