සරල කරන ලද එකතු කළ අගය මත බදු (SVAT System) ක්‍රමවේදය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී දීර්ඝව සාකච්ජා කිරීම සිදු විය. මෙහිදී දේශිය ආදායම් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් විසින් SVAT ක්‍රමවේදය පිළිබඳව ඉදිරිපත් කිරීමක් සහිතව (Presentation) කාරක සභාව දැනුවත් කිරීම සිදු කළ අතර එහිදී පැන නගින ගැටලු නිරවුල් කර ගැනීමද මේ අනුව සිදු විය.
මේ පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වූයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (07) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ VAT ක්‍රමවේදය යටතේ නැවත ගැනීමේ හැකියාව සහිත ගෙවීම් (Refund payments delays) නැවත ගැනීමේදී 100%ක විගණනයක් කරන බවත් මේ නිසා ප්‍රමාදයක් පවතින බවත්ය. නමුත් මෙම SVAT ක්‍රමවේදය මගින් එම ප්‍රමාදය අවම කරමින් දින 45ක් ඇතුළත කඩිනමින් එම නැවත ගෙවීම් සිදු කළ හැකි වන බවද එම නිලධාරීහු වැඩි දුරටත් පෙන්වා දුන්හ. එසේම මෙම ක්‍රමවේදය මගින් පැවති සංකීර්ණතාවය අවම කිරීම සහ ආදායම වැඩි කරගැනීමද අරමුණු කරන බව නිලධාරීහු පැවසූහ.
මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේ අපනයන කර්මාන්තකරුවන් වඩාත් සෑහීමකට පත් වීම මෙම ක්‍රමවේදය හරහා සිදු විය යුතු බවයි. එසේම අවධානම් තත්ත්වයක් හමුවේ කටයුතු කිරීම (risk rating ) සම්බන්ධයෙන්ද මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන් අතර අභියාචනා ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාවය හෙතෙම පෙන්වා දුන්නේය. තවද දින 45 ඇතුළත ගෙවීමක් කිරීමට අපහසු වුවහොත් ඒ වෙනුවෙන් ගෙවීමේදී යම් පොලී අනුපාතයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවද කාරක සභාව විසින් පෙන්වා දෙන ලදි.
දීර්ඝ වශයෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව කාරක සභාව විසින් පැමිණි නිලධාරීන් වෙත සිය ප්‍රසාදය පළ කළේය. එසේම SVAT ක්‍රමවේදය ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය සම්බන්ධව දැනුවත් කරමින් මසකට වරක් වාර්තාවක් කාරක සභාව වෙත ලබාදෙන ලෙසට කාරක සභාවේ සභාපතිවරයා විසින් මෙහිදී නිර්දේශ කරන ලදි.
මෙම රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, එම්.කේ.එම්. අස්ලම්, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, විජේසිරි බස්නායක, සුනිල් රාජපක්‍ෂ, නිමල් පලිහේන, තිළින සමරකෝන් සහ නිශාන්ත ජයවීර යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.