Tuesday, September 09, 2025
Follow Us
ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට අද ලැබුණු අනුමැතිය
ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත රාජ්ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සලකා බැලීමෙන් පසු අනුමත කරන ලදී.

ඒ එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්රී (වෛද්ය) නජිත් ඉන්දික මහතාගේ ප්රධානත්වයෙන් අද (09) වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

 
මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්යාංශ නිලධාරීහු පැවසුයේ රජයේ ප්රතිපත්ති ප්රකාශයේ සඳහන් කර ඇති පරිදි, රටේ ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත මඟින්, හිටපු ජනාධිපතිවරුන්ගේ සහ අනාගත ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ පවුල් සඳහා ලබාදෙනු ලබන ආර්ථිකමය නොවන හිමිකම් ඉවත් කිරීමට අපේක්ෂා කරනු ලබන බවයි.
 
වෙනත් රාජ්යන්හි විශ්රාමික ජනාධිපතිවරුන්ට හෝ රාජ්ය නායකයින්ට මෙරට හා සමාන විශ්රාම වැටුප් සහ වරප්රසාද පිරිනමනු ලබන්නේ ඔවුන් තනතුරු අතහැරීමෙන් පසුව පවා ඇතැම් නිල රාජකාරි හෝ වගකීම් වල දිගටම නියැලෙන බැවින් බවත්, එලෙස කිසිඳු නිල වගකීමක් පවරා නොමැති හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට විශ්රාම වැටුප් සහ විශාල වරප්රසාද සිමා කිරීම සම්බන්ධයෙන් මෙම පරිච්ඡින්න කිරීමේ පනත් කෙටුම්පත තුළ විධිවිධාන සලසා දී තිබෙන බවට එම නිලධාරීහු තවදුරටත් පැවසීය.
 
ඒ අනුව අද දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එළැඹි තීරණය පරිදි ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත හෙට (10) පාර්ලිමේන්තුවේ දෙවනවර කියැවීමේ විවාදයට ගැනීමට නියමිතව ඇත.
 
මෙම ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන එම්.කේ.එම්. අස්ලම්, නීතිඥ තුෂාරි ජයසිංහ, චන්දන සූරියආරච්චි, ධර්මප්රිය විජේසිංහ, මේජර් ජෙනරාල් (විශ්රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.