Wednesday, July 09, 2025
Follow Us
නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
ජාතික ජනබලවේගය නියෝජනය කරමින් නිශාන්ත ජයවීර මහතා දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්රීවරයෙක් ලෙස කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා ඉදිරියේ අද (09) දිවුරුම් දුන්නේය.

 

කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේදී මන්ත්රී නාමලේඛනයේ අත්සන් තැබීය.

ජාතික ජනබලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් දසවැනි පාර්ලිමේන්තුවට තේරී පත් වූ හිටපු නියෝජ්ය අමාත්ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුවට උස්හෙට්ටිගේ දොන් නිශාන්ත ජයවීර මහතා මෙලෙස ජාතික ලැයිස්තු මන්ත්රීවරයෙකු ලෙස පත් කෙරිණි. ජූලි 07 වැනිදා මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කොට තිබූ අතර මේ අනුව ඒ මහතා අද දින දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්රීවරයෙක් ලෙස දිවුරුම් දීම සිදු විය.

 
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්ය කොමසාරිස් ජනරාල්වරයෙකු ලෙස සේවය කර ඇති ඒ මහතා එම දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරුවල වසර 25කට අධික කාලයක් සේවය කොට ඇත. 2024 සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා සුරාබදු කොමසාරිස් ජනරාල් ධුරයේ කටයුතු කළ නිශාන්ත ජයවීර මහතා අනතුරුව ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම්වරයෙක් ලෙස ද කටයුතු කළේය.
 
කැලණිය විශ්වවිද්යාලයේ භෞතික විද්යාව පිළිබඳ විශේෂවේදී උපාධිධාරියෙකු වන ජයවීර මහතා එම විශ්ව විද්යාලයෙන්ම ආර්ථික විද්යාව පිළිබඳ ශාස්ත්රපති උපාධිය ද ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයෙන් බදුකරණය පිළිබඳව ව්යාපාර පරිපාලන පශ්චාත් උපාධිය ද ලබාගෙන ඇත. එසේම කැලණිය විශ්ව විද්යාලයෙන් තොරතුරු තාක්ෂණවේදය පිළිබඳව පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද ලබාගෙන ඇති ඒ මහතා ඉන්දියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, නෙදර්ලන්තය ඇතුළු රටවල් ගණනාවක ආර්ථික විද්යාව සහ බදුකරණය පිළිබඳ පාඨමාලාවන් හදාරා තිබේ.