Tuesday, July 08, 2025
Follow Us
පාර්ලිමේන්තුව ජූලි 22 සිට 25 දක්වා රැස්වෙයි
  • සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත් දෙකක් සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත ජූලි 22 විවාදයට.. 
  • සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ජූලි 23.
  • ශ්රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ජූලි 24..
ජූලි 22 සිට 25 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට අදාළ පාර්ලිමේන්තු කටයුතු කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාගේ ප්රධානත්වයෙන් අද (08) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය
 
ඒ අනුව පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න සඳහා වෙන් කර තිබේ.
 
ඒ අනුව ජූලි 22 වැනි අඟහරුවාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා, සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත (2005 අංක 36 දරන පනත සංශෝධනය සඳහා), සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත් කෙටුම්පත (2016 අංක 4 දරන පනත සංශෝධනය සඳහා) සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වී ඇත. සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) සහ සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත් කෙටුම්පත් දෙකට එරෙහිව ගොනුකළ පෙත්සම්වලට අදාළ ශ්රේෂ්ඨාධිකරණ තීරණයට අනුව මෙම පනත් කෙටුම්පත් ත්රිත්වයම විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කිරීමට නියමිත බව ද මහලේකම්වරිය සඳහන් කළාය.
ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 6.00 දක්වා විපක්ෂය ගෙනෙනු ලබන යෝජනාවකට අනුව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමටටත් මෙහි දී එකඟත්වය පළ වී තිබේ.
ජූලි 23 වැනි බදාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා විවාදයට ගැනීමට නියමිතව ඇත. අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්රශ්න සඳහා කාලය වෙන්කර තිබේ.
 
ජූලි 24 වැනි බ්රහස්පතින්දා පෙ.ව 11.00 සිට ප.ව 5.00 දක්වා ශ්රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වී ඇත. ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.
 
ජූලි 25 වැනි සිකුරාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා අභාවප්රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයන් වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කාලය වෙන් කර ඇත. මේ අනුව අභාවප්රාප්ත හිටපු ගරු පාර්ලිමේන්තු මන්ත්රීවරයන් වන ආර්. සම්පන්දන්, අබේරත්න බණ්ඩාර හේරත් පිලපිටිය, ඩබ්.බී ඒකනායක, ලකී ජයවර්ධන සහ මාලනී ෆොන්සේකා යන මහත්ම මහත්මීන් වෙනුවෙන් මෙලෙස ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
 
අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්රශ්න සඳහා කාලය වෙන් කර තිබේ.