Sunday, January 25, 2026
Follow Us
නියෝජ්‍ය ඇමැතිවරයෙක් ඉල්ලා අස්වෙයි

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ  මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත ලබාදී ඇති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.

 (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ලිපියට අනුව ඉහත ඉල්ලා අස්වීම 2025 ජුනි 20 වැනිදා සිට බලපැවැත්වෙන බවද මහ ලේකම්වරිය දන්වා තිබේ.

ඒ අනුව, දසවැනි පාර්ලිමේන්තුවේ (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ අසුන හිස්ව ඇති බව 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(5) වගන්තිය ප්‍රකාරව දැනුම් දෙන බවද මහ‍ ලේකම්වරිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දන්වා සිටී.     

මේ අතර ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යංශ ලේකම් වශයෙන් පත්වනු ඇති බවද වාර්තා වේ.