Wednesday, May 21, 2025
Follow Us
දිනකට නිකුත් කරන ගුවන් ගමන් බලපත්‍ර සංඛ්‍යාව වැඩි කිරීමට පියවර

වත්මන් රජය බලයට පත් වන විට දිනකට නිකුත් කළ 1200 ක් පමණ වූ ගුවන් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 4000 ක් දක්වා  වැඩිකිරීමට  පියවර ගත් බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා අද(20) පාර්ලිමේන්තුවේදි පැවසීය.

මේ වර්ෂයේ පෙබරවාරි මස 18 වැනිදා සිට ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 ක සේවාවක් ක්‍රියාත්මක කර ඇති බවත් ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක් දින සේවාව ක්‍රියාත්මක බවත් ඇමැතිවරයා පැවසුවේය. 

සමඟි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා වාචිකව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

හදිසි ගමන් බලපත්‍ර අවශ්‍යතාවක් පවතින්නේ නම් එක් දින සේවාවෙන් අදාළ බලපත්‍රය ඉල්ලුම් කළ හැකි බව ද ඇමැතිවරයා පැවසුවේය.

නව ගුවන් බලපත්‍ර ලබාගැනීම සඳහා දිනකට අයදුම්පත් 3000 ක් පමණ ලැබෙන බවත් නව ගුවන් බලපත්‍ර ලබා ගැනීමට අයදුම්පත් 356,714 ක් මේ වන විට ලැබී ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ගුවන් ගමන් බලපත්‍ර හිඟය නිසා පසුගිය ආණ්ඩුව කාලයේ සිට මෙම බලපත් නිකුත් කිරීම ප්‍රමාදව පැවැති බවත් ගුවන් ගමන් බලපත් හිඟය නිසා 349,483 ක් අයදුම්පත් ලැබූ තිබූ අතර ඉන්  303,483 ක් නිකුත් කර ඇති බවත් ඇමැතිවරයා පැවසුවේය.