තමා ජීවත්ව නොසිටින දිනකදී වුවද සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මාතෘභූමිය ස්වෛරී රාජ්‍යයක් ලෙසින් එක සිංහ ධජයක් සෙවණේ පවතීවා යන්න තමාගේ එකම ප්‍රාර්ථනය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
දශක තුනකට අධික කාලයක් මෙරට පැවති කුරිරු ත්‍රස්තවාදය මුලිනුපුටා දමා වසර 16ක් සපිරීම නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කරයි.
ලොව ම්ලේච්ඡතම කුරිරු ත්‍රස්තවාදය සහමුලින් නැති කරමින් රටේ සෑම පුරවැසියකුටම මාතෘභූමියේ සෑම බිම් අගලකම මර බියෙන් තොරව ආරක්ෂිතව සහ සමාන අයිතිවාසිකම් සහිතව ජීවත්විය හැකි රටක් නිර්මාණය කිරීම දශක ගණනාවක් පුරා රටක් ලෙස සාමූහිකව දුටු සිහිනයක් බවත් ජනතා නායකයකු ලෙස තමා පෞද්ගලිකව ද එම සිහිනය දුටු බවත් හෙතෙම එහි සඳහන් කර ඇත.
රට වෙනුවෙන් දිවි පිදූ තම දරුවාගේ නම රණවිරු ස්මාරක නාම පුවරුවෙහි වියපත් දෑසින් සොයන මවුවරුන් ද, පියවරුන් ද තමන් දැක ඇති බව පවසන රාජපක්ෂ මහතා, නිල ඇඳුම ඇඳගත් රණවිරුවා මාතෘභූමියේ අභිමානය වනවා සේම කිසි දිනෙක මියනොයනා බව තමන් විශ්වාස කරන බව ද සඳහන් කරයි.