Friday, December 06, 2024
Follow Us
ඡන්දපොළේ රැඳීසිටීමට අපේක්ෂකයින්ට අවසර නෑ - මැතිවරණ කොමිසමේ සභාපති

ඡන්දපොළේ රැඳීසිටීමට අපේක්ෂකයින්ට අවසර නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසයි. ඒ  මහතා මේ බව පැවසුවේ අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මැතිවරණ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

ඡන්දය පැවැත්වෙන දින අපේක්ෂකයන්ට ඡන්දපොළ නැරඹීමට පමණක් අවසර ඇති බවත්, එම පරිශ්‍රයට ඇතුලුවිය නොහැකි බවත් ඡන්දදායකයන්ට , ඡන්දපොළේ රාජකාරි ඉටුකරන නිලධාරීන්ට, ඡන්දපො‍ළේ රැඳී සිටින දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයන්ට,මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම්වලට හා තේරීම් භාර නිලධාරීන් නම් කරන ලද නිලධාරීන්ට පමණක් ඡන්දපොළට ඇතුලුවිය හැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙවර මැතිවරණය නිදහස් හා සාමකාමීව පැවැත්වෙන බවත්  යුරෝපා සංගමය, ඇන්පල් සංවිධානය සහ මැතිවරණ කොමිෂන් සභාව විසින් ආසියානු කලාපයේ රටවල්වල මැතිවරණ කොමිෂන් සභා ආශ්‍රිත සංවිධානවලින් කළ ආරාධනාවට අනුව මෙරටට පැමිණි විදේශීය නිරීක්ෂකයන් නිරීක්ෂණ කටයුතුවල යෙදෙන බවත් මාධ්‍යවේදීයෙකු ඇසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා සඳහන් කළේය.එසේම දේශීය නිරීක්ෂණ කණ්ඩායම්ද මේ සඳහා යොදවා ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.