Sunday, February 01, 2026
Follow Us
සර්වපාක්ෂික හැලී ජාතික ආණ්ඩුවක් එයි

කැබිනට්ටුව දිවුරුම්දීම ලබන සතියේ


සර්ව පාක්ෂික ආණ්ඩුව වෙනුවට ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කිරීම කෙරෙහි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමු වී තිබේ. පක්ෂ ලෙස සර්ව පාක්ෂික ආණ්ඩුවට එක් නොවී පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වෙන වෙනම ආණ්ඩුවට එක්වීම නිසා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට සුදුසු බව දේශපාලන පක්ෂ ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

ඒ සඳහා දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ප්‍රතිපාදන ලැබී ඇති අතර එහිදී ඇමැති ධුර සංඛ්‍යාව තිහේ සිට හතළිස් දෙක දක්වා වැඩි කිරීමේ හැකියාව ඇත.

ඒ අනුව කැබිනට් මණ්ඩලය ලබන සතියේ දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. කැබිනට් මණ්ඩලයට පත් කිරීමට යෝජිත මන්ත්‍රිවරු 16 කගේ නාම ලෝඛනයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයා වෙත යොමු කර තිබේ. ඊට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික පක්ෂවල නායකයන්ටද ඇමැති ධුර ලබා දීමට නියමිතය.

රාජ්‍ය ඇමැතිවරුන් තිස් දෙනකුද, දිවුරුම් දීමට නියමිතව ඇත. ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, එස්. එම්. චන්ද්‍රසේන, මහින්දානන්ද අලුත්ගමගේ, පවිත්‍රා වන්නිආරච්චි වැනි මන්ත්‍රිවරුන්ගේ නම් ඇමැති ධුර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යෝජනා කර ඇත. එම මන්ත්‍රිවරුන්ගෙන් සිව් දෙනකුට ඇමැතිධුර ලබා නොදෙන ලෙස විපක්ෂයෙන් එක්වීමට නියමිත මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. ජීවන් තොණ්ඩමන්, ඒ.එල්.එම්. අතාවුල්ලා වැනි පක්ෂ නායකයන්ට ද ඇමැති ධුර ලබාදීමට නියමිතය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ඇමැතිධුර හා රාජ්‍ය ඇමැති ධුර ලබාදීම පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් ජනාධිපතිවරයා හා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ අතර ඊයේ (17දා) රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබිණි.

Aruna