Monday, February 02, 2026
Follow Us
හෙට පාර්ලිමේන්තුව රැස්වෙයි

වජිර හෙට පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට නියමිතයි


පාර්ලිමේන්තුව හෙට (27) පෙරවරු 10.00ට රැස්වීමට නියමිතය.

ඒ අනුව, මහජන ආරක්ෂක පනත යටතේ වැඩබලන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද හදිසි අවස්ථා ප්‍රකාශනය හෙට පස්වරු 4.30 දක්වා විවාද කිරීමෙන් අනතුරුව අනුමත කරගැනීමට නියමිතය.

2022 ජුලි 17 දිනැති අංක 2288/30 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් එවකට වැඩබලන ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශනය සිදුකොට ඇති අතර නෛතික ප්‍රතිපාදන අනුව එම හදිසි අවස්ථා ප්‍රකාශනය සඳහා දින 14 ක් තුළ පාර්ලිමේන්තුවේ අනුමතිය ලබා නොගතහොත් එය අවලංගු වී යනු ඇත.

ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතු කොටගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යෑම සඳහා මහජන ආරක්ෂක ආඥාපනතේ ජනාධිපතිවරයා සතු බලතල ප්‍රකාරව මෙම නිවේදනය නිකුත් කර ඇති බවද ගැසට් පත්‍රයේ සඳහන් වෙයි.

මේ අතර පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නම් කළ වජිර අබේවර්ධන හෙට (27) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතය.

Aruna