Friday, May 17, 2024
Follow Us
මෛත්‍රීගේ අන්තිම තුරුම්පුව අනුර!

ඉදිරි ජනාධිපතිවරණය අරඹයා එක්සත් ජාතික පක්ෂයට වඩා අර්බුදයට ගොස් ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව දැන් පෙනෙන්නට තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ නොසලකා හැරීම් සහ එකඟතාවන්ට පැමිණීමේ නොහැකියාවන් මත ශ්‍රීලනිපය විකල්ප සොයමින් සිටින අතර ඔවුන් දැන් ජනතා විමුක්ති පෙරමුණ දෙසට හැරී ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද වාමාංශික දේශපාලන නියෝජනය කරන හෙයින් ජනතා විමුක්ති පෙරමුණ සමඟද එකඟතාවන් ඇති කර ගැනීමේ නොහැකියාවක් නැති බවට සාකච්ජා වී තිබේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ තවදුරටත් සාකච්ජා පවත්වන නමුත් යම්කිසි හෙයකින් හෝ සන්ධානය සම්බන්ධයෙන් ඔවුන් සමඟ එකඟතාවන් ඇතිකර ගැනීමට නොහැකි වුවහොත් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන ජාතික ජන බලවේගය සමඟ සන්ධානගත වීම සම්බන්ධයෙන් ශ්‍රීලනිපය අවධානය යොමුකර ඇති බව සඳහන්.

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ වුවත් ජාතික ජන බලවේගය සමඟ වුවත් එම සන්ධානය ඉදිරි මහ මැතිවරණය දක්වාම පවත්වා ගත යුතු අතර මහ මැතිවරණයටද එම සන්ධානයෙන්ම ඉදිරිපත් විය යුතු බවට ශ්‍රීලනිප කණ්ඩායම සාකච්ජා කර ඇති බවයි වාර්තා වුණේ.

ජනාධිපතිවරයා හා සජිත් ප්‍රේමදාස මහතා අතර පවත්නා සමීප සබඳතාව නිසා ශ්‍රීලනිපය සජිත් ප්‍රේමදාස මහතාටා සහය දීමේ ඉඩක් පවතින නමුත් තවදුරටත් සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකත්වයට නම් කර නැත.

එහෙයින් මේ වන විට පොහොට්ටුව සමඟ වන සාකච්ජාවන්ට ශ්‍රීලනිපය වැඩි බරක් තබා ඇති නමුත් පොහොට්ටුවේ නොසලකා හැරීම ශ්‍රීලනිපය විසින් ඔවුන් ප්‍රතික්ෂේප කරන තත්ත්වයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ශ්‍රීලනිපය පොහොට්ටුව සමඟ සන්ධාන ගත වී පොහොට්ටුවේ අපේක්ෂකයාට සහය දුන්නද මහ මැතිවරණයේදී ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙකු දෙන්නෙකු දේශපාලනයෙන් සමුගැනීමේ තත්ත්වයක්ද පවතින බව කියැවුණි.

ශ්‍රීලනිපයට මෙවන් අවාසනාවන්ත ඉරණමක් අත්ව ඇත්තේ පක්ෂයේ සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියා කලාපය හේතුවෙන් බවත් දැන් එය නැවත හැරවිය නොහැකි හෙයින් එන විදිහකට මුහුණ දීමට ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් සූදානමින් පසුවන බවද වාර්තා විය.

මේ අනුව ඉදිරි ජනාධිපතිවරණයත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොසිතූ නොවිරූ අන්දමට පල්ලම් බසිමින් සිටින බව නම් පෙනෙන්නට තිබේ.

(LNW)