Thursday, May 02, 2024
Follow Us
දිනනවා නම් එනවා නැත්නම් යනවා - දේශපාලනයෙන් විශ්‍රාම යාම මට මහදෙයක් නෙවෙයි

ඉදිරි ජනාධිපතිවරණය ජයගත හැකිනම් ඊට ඉදිරිපත් වන අතර එය කළ නොහැකි නම් ඉවත්ව යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේදී පැවති බියගම සහ කැලණිය මැතිවරණ කොට්ඨාසවල එක්සත් ජාතික පක්ෂයේ පැරණිතම සාමාජිකයින්ගේ හමුවේදීය.

අවුරුදු 70 වන තෙක් මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ තනතුරු රැසක් දැරූ තමාට දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම එතරම් අසීරු කටයුත්තක් නොවන බවයි රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළේ.

පක්ෂය ලෙස මුහුණ දීමට සිදු වූ සෑම අසීරු අවස්ථාවකදීම පක්ෂය ආරක්ෂා කරගත් නායකයාලෙස එළඹෙන ජනාධිපතිවරණය ජයගතහැකිනම් ඊට ඉදිරිපත් වන බව හෙතෙම අවධාරණය කළේය.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂය මූලිකත්වයෙන් පිහිටුවන සන්ධානය ලෙස මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා මෙවැනි ප්‍රකාශයක් සිදුකරන්නේ එජාප නියෝජ්‍ය නායකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් ප්‍රචාරණ වැඩපිළිවෙලක් ගෙන යන අතරතුරදිය.

අවස්ථා කිහිපයකදීම මෙම පාර්ශව ද්විත්වය සාකච්ජා පවත් වුවද තවදුරටත් එකඟතාවකට පැමිණීමට හැකිවී නැති අතර මෙම අර්බුදය සමථයකට පත්කර ගැනීම සඳහා කමිටුවක්ද පත් කර තිබේ.

මේ අතර කථානායක කරූ ජයසූරිය මහතා එජාප සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්කරන ලෙස යෝජනාවක් සමඟ මල්වතු - අස්ගිරි උභය විහාරික නායක භික්ෂූන් වහන්සේලා පිරිසක් හෙට (14) අරලියගහ මන්දිරයට පැමිණීමට නියමිත බවද වාර්තා වෙයි.

කෙසේ හෝ එජාප ජනාධිපතිවරණ අපේක්ෂක සටනේ අවසානය දැන් ක්‍රමානුකුලව ස්ථානගත වෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ.

(LNW)