Friday, May 03, 2024
Follow Us
අගමැතිකම නිසා ශ්‍රීලනිප - පොහොට්ටු සාකච්ඡා බිඳ වැටේ !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් නිර්මාණය කිරීමේ සාකච්ඡා සහමුලින්ම බිඳවැටෙන තත්වයක් මේ වනවිට නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.

මීට හේතුව ලෙස බාහිරින් සන්ධානයේ ලකුණ "පොහොට්ටුව" ලෙස යෝජනා වීම බවක් පෙන්නුම් කෙරුණ ද සැබෑ හේතුව වී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2020 පිහිටුවන නව රජයක අග්‍රාමාත්‍ය තනතුර තමන්ට හිමිවිය යුතුය යන ස්ථාවරය කිසිසේත්ම වෙනස් කිරීමට එකඟ නොවීම බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මුල පටන්ම යෝජනා කර තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙසත් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙසත් පත් කර ඊට පහළින් නව තනතුරක් නිර්මාණය කර එය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දෙන්නටය.

එහෙත් ජනාධිපතිවරයා එය තරයේ ප්‍රතික්ෂේප කර තිබුණු අතර පසුගියදා පැවති ශ්‍රීලනිප 68 වන ජාතික මහා සම්මේලනයේදී ද ඒ මහතා ඉතාම පැහැදිලිව සඳහන් කළේ අග්‍රාමාත්‍ය තනතුර ලබා ගැනීම තම අපේක්ෂාව බවයි.

ඒ අනුව මෙම සාකච්ඡා තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි තවත්වයක් දැනටමත් නිර්මාණය වී තිබේ.

(LNW)