Thursday, May 02, 2024
Follow Us
මේ හදන්නේ තියන 14 ත් නැතිකර ගන්න - සුසිල් ප්‍රේම්ජයන්ත

අසූ දෙක දාහතරට බස්ස ගැනීමට කටයුතු කළ පුද්ගලයන් අද ලකුණක එල්ලී කල්මරමින් සිටින බවත්, අවසානයේ ජනාධිපතිවරණයට නාමයෝජනා ලබාදීමෙන් පසු දැන් තිබෙන 14 න් භාගයක් ‍හෝ ඉතිරි කරගත නොහැකි වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

එවැනි ඉරණමකට පක්ෂය නොදමා පොදුජන පෙරමුණ සමග සන්ධාගත වීම සඳහා තීන්දුවක් ගන්නා ලෙස මන්ත්‍රීවරයා ශ්‍රීලනිපයෙන් ඉල්ලා සිටී. සුසිල් ප්‍රේම්ජයන්ත මහතා මේ බව සඳහන් කළේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ශ්‍රීලනිප මහ ලේකම්වරයා ඡන්ද ලකුණක එල්ලී විවධ ප්‍රකාශ සිදු කරමින් සිටින බව පෙන්වා දෙන සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසන්නේ අවශ්‍ය වන්නේ පුද්ගලයා සහ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් එකඟවීම මිස මැතිවරණයට ඉදිරිපත් වන ඡන්ද ලකුණ නොවන බවයි.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මහින්දානන්ද අළුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ ශ්‍රීලනිපය වෙනුවෙන් කැපකිරීම් රැසක් මේ වනවිටත් සිදුකර ඇති බවයි. ජනාධිපතිවරණය වෙනුවෙන් වෙනම සන්ධානයක් ගොඩනැගීමට මෙන්ම එම සන්ධනයේ සැළකිය යුතු තනතුරක් ශ්‍රීලනිපයට ලබාදීමට එකඟ වූ බවත් මහ මැතිවරණයකදී වෙනම ලකුණකින් තරග කිරීමට එකඟ වී ඇති බවත් මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසයි. එසේ තිබියදී ශ්‍රීලනිප මහ ලේකම්වරයා තවදුරටත් ලකුණක එල්ලී සිටින බව ද ඔහු පවසයි.

(LNW)