Friday, May 17, 2024
Follow Us
මුලින්ම TNA කැමති කරවාගන්න - රනිල් සජිත්ට කියයි

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාව අරලියගහ මන්දිරයේදී ආරම්භ වූයේ ඊයේ (10) රාත්‍රී 09.30ට පමණය.

අග්‍රාමාත්‍යවරයා මෙම සාකච්ඡාව සඳහා ආරාධනා කර තිබුණේ සජිත් ප්‍රේමදාස මහතාට පමණි. ඔහුට තනිව සාකච්ඡාව සඳහා පැමිණෙන ලෙස දැනුම් දී තිබුණු අතර සාකච්ඡාව සඳහා සම්බන්ධීකාරකයකු වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව ඊට කැඳවන බව ද දැනුම් දී තිබිණි. ඊට හේතු පැහැදිලි කරමින් අග්‍රාමාත්‍යවරයා සජිත්ට පවසා තිබුණේ එක්සත් ජාතික පෙරමුණේ සහ නව සන්ධානයේ ප්‍රධානතමයකු වශයෙන් සහ 100%ක් දේශපාලනික චරිතයක් වශයෙන් මීට රාජිත සුදුසුයැයි තමන් විශ්වාස කරන බවයි.

එහෙත් සජිත් ප්‍රේමදාස මහතා සමඟ අනාරාධිතවම සජිත් පාර්ශ්වයේ කැරලි නායක මලික් සමරවික්‍රම, කබීර් හෂීම් සහ රංජිත් මද්දුම බණ්ඩාර යන අමාත්‍යවරුන් ද පැමිණ තිබිණි. අග්‍රාමාත්‍යවරයා මේ පිළිබඳව සජිත්ගෙන් විමසද්දී ඔහු පවසා තිබුණේ තමන් ඔවුන්ව කැඳවාගෙන නොපැමිණි බවත් ඔවුන් වෙනම පැමිණ ඇති හෙයින් තමන් ඒ ගැන නොදන්නා බවත්ය.

සජිත් පාර්ශ්වයේ පූර්ව සාකච්ඡාව මුදල් අමාත්‍යාංශයේ

එහෙත් ඒ වනවිටත් රනිල් වික්‍රමසිංහ මහතාගේ බුද්ධි අංශ මඟින් දැනුම් දී තිබුණේ ඔවුන් මෙම සාකච්ඡාවට පැමිණීමට පෙර මංගල සමරවීර මහතාගේ මූලිකත්වයෙන් මුදල් අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පවත්වා ඇති බවය.

එනිසා "නෑනෙ, ඕගොල්ලො දැන් මුදල් අමාත්‍යාංශෙ ඉඳලානෙ ආවෙ. එතන මංගල, එරාන්, හර්ෂ .. කට්ටිය එක්ක ඕගොල්ලො සාකච්ඡාවකුත් කරලානෙ ආවෙ ?" යනුවෙන් අග්‍රාමාත්‍යවරයා කළ විමසීමේදී සජිත් ගත් කටටම පිළිතුරු දී තිබුණේ "නෑ සර්, මං එහෙ ගියෙ නෑ. මං අද දවසම ජනාධිපතිතුමා එක්ක හිටියේ" යනුවෙනි.

 

ඊයේ උදෑසන 9.00 වනවිට සජිත් ප්‍රේමදාස මහතා පැජට් පාරේ ජනාධිපති නිලනිවසට ගොස් තිබුණු අතර ඊයේ පැවති බෞද්ධ විහාරස්ථාන සදහා ඉඩම් ඔප්පු පිරිනැමීමේ වැඩසටහනට සහභාගී වීමට ගොස් තිබුණේ ද ජනාධිපතිවරයා සමඟය. දවසේ වැඩි කොටසක් ජනාධිපතිවරයා සමඟ ගතකර, ජනාධිපතිවරයාගේ ද පූර්ණ ආශිර්වාදය සහිතව, අපේක්ෂකත්වය ලබාගැනීමේ අරමුණින් මුදල් අමාත්‍යාංශයේ පූර්ව රැස්වීමට ද ගොසිනි සජිත් අරලියගහ මන්දිරයට පැමිණ සිටියේ.

ඉන් අනතුරුව මලික්, කබීර් සහ රංජිත් සහභාගී කර නොගෙන රනිල්, සජිත්, රාජිත තිදෙනා පමණක් සාකච්ඡාව ආරම්භ කර තිබේ.

මුලින් TNA සහාය ගන්න.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා එජාපයට සුළු ජාතික ඡන්ද කොතෙක් වැදගත් වන්නේද යන්න අවධාරණය කර ඇති අග්‍රාමාත්‍යවරයා දැනටමත් රට තුළ ප්‍රධාන කඳවුරු දෙක වශයෙන් ඡන්ද බෙදී ඇති ආකාරය අනුව අපේක්ෂකයා කවුරුන් වුවත් ඔහුට දෙමළ ජාතික සන්ධානයේ සහාය නොමැතිව ජයග්‍රහණය කළ නොහැකි බව ද පෙන්වා දී ඇත.

"සම්බන්ධන් හෙට කොළඹ එනවා. ඔයා වහාම ගිහින් මුලින්ම එයා හම්බුවෙලා සාකච්ඡා කරන්න. මුලින්ම එයාලගෙ කැමැත්ත අරන් ඉන්න.

මෙතනදි අපි බලන්න ඕනෙ දිනන්න පුළුවන් කෙනා කවුද කියන එකනෙ. ඔයාද මමද කරූද කියන එක නෙවෙයි. එක්සත් ජාතික පක්ෂය දිනවන්නෙ කොහොමද කියලයි අපි බලන්න ඕනෙ.

 

මීළඟ සාකච්ඡාව සමීක්ෂණ වාර්තා පදනම්ව

ඒනිසා මුලින් TNA එකත් එක්ක සාකච්ඡා කරන්න. ඊළඟට අපි ඉක්මනින්ම එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අරන් සාකච්ඡාවක් තියමු. මං වෙනුවෙන් මේ වැඩේ දිගටම සම්බන්ධීකරණය කරන්න මම රාජිතව නම් කරනවා. එයාව නිතරම දැනුවත් කරන්න" යනුවෙන් අග්‍රාමාත්‍යවරයා සජිත්ට පවසා ඇති අතර රාජිත මීට සුදුසුම පුද්ගලයා බව කියමින් සජිත් ද ඊට එකඟ වී ඇත.

එසේම ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිදුකළ, මේ වනවිට තමන් සතුව ඇති සියලුම සමීක්ෂණ වාර්තා 11 වනදා සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමටත් අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වී ඇති අතර ඊළඟ දිනයේදී ඒවා පාදක කරගනිමින් සාකච්ඡා කිරීමටත් එකඟ වී ඇත.

ඒ අනුව රාජිතගේ සම්බන්ධීකරණයෙන් සාකච්ඡා දිගටම පවත්වාගෙන යාමේ එකඟතාවයෙන් යුක්තව ඉතාම සුහද ලෙසින් රනිල් - සජිත් හමුව නිමවූ බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

සජිත් හොඳ කෙනෙක් - රනිල්

හමුව නිමවීමෙන් අනතුරුව "විවිධ පාර්ශ්ව සජිත්ව ඉත්තෙක් කරගෙන ඉන්නවා තමයි. ඒත් සජිත් කියන්නේ හොඳ කෙනෙක්" යනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඒවනවිට අරලියගහ මන්දිරයේ රැඳීසිටි සිය සමීපතම හිතවතුන් සමඟ ප්‍රකාශ කර තිබුණු බවත් වාර්තා විය.

(LNW)