Saturday, February 14, 2026
Follow Us
ජොන්ස්ටන්ගේ පාර්ලිමේන්තු ලේකම්වරයාට කොවිඩ්

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලේකම්වරයාටද කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව ඊයේ (12 වැනිදා) තහවුරුවී ඇත. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ මෙම ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ චමින්ද කුලරත්නය.

පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ඔහු සමීපව ආශ්‍රය කළ පුද්ගලයන් කවුදැයි සොයා ඊයේ (12 වැනිදා) සවස සීසීටීවී දර්ශන පරික්ෂා කිරීම ආරම්භ විය.

සභානායක දිනේෂ් ගුණවර්ධනගේ ලේකම්, අතිරේක ලේකම් සහ සහකාර ලේකම්වරුන් සිව් දෙනෙකුද මේවන විට නිරෝධායනයට යොමු කර තිබේ.

මේ නිසා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය සහ සභානායක කාර්යාලය වසා දැමීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් ‘අරුණට’ පැවැසුවේය.

මේ අතර අද (13 වැනිදා) දවස තුළ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ තුන්සියයකගේ පී.සී.ආර්. පරික්ෂණ සිදු කෙරෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවැසුවේය.

මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ද අද පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ගැනීමට කැමැත්ත පළ කර ඇතැයි කී හෙතෙම කාර්ය මණ්ඩලයේ තවත් පිරිසක් අනිද්දා (15 වැනිදා) පී.සී.ආර්.පරික්ෂණයට ලක්වන බව කීවේය.

(Aruna)