Thursday, January 29, 2026
Follow Us
01 ශ්‍රේණිය සඳහා වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇරඹෙයි

“සියලු ගුණධර්මවලින් මෙන්ම සහකම්පනයෙන් ද පිරිපුන් අනාගත පරපුරක් නිර්මාණය කිරීමේ මූලික අඩිතාලම අදින් ඇරඹෙනවා.”

-අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය-

​සියලු ගුණධර්මවලින් මෙන්ම සහකම්පනයෙන් ද පිරිපුන් අනාගත පරපුරක් නිර්මාණය කිරීමේ මූලික අඩිතාලම මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් සැපයෙන බවත්, සෑම දරුවෙකුටම පොහොසත් රටක් තුළ පොහොසත් අධ්‍යාපනයක් ලබා දීමේ බැරෑරුම් වගකීම රජයක් ලෙස සතුටින් භාරගෙන ඇති බවත් අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

​අතුරුගිරිය බප/ජය/ගුණසේකර ප්‍රාථමික විද්‍යාලයේ අද (29) පැවති, 2026 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් වෙනුවෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ජාතික වැඩසටහන අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

එහිදී අග්‍රාමාත්‍යතුමිය සිසු සිසුවියන් සමඟ පාසල් භූමියේ මී පැළයක් රෝපණය කළ අතර, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ නවීකරණය වූ පළමු ශ්‍රේණි පන්ති කාමර නිරීක්ෂණය කරමින් සිසු සිසුවියන් සමඟ සුහද කතාබහක ද නිරත වූවාය.

​නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සමගාමීව, දිවයින පුරා පළමු වසරට සිසුන් ඇතුළත් කර ගැනීම සංකේතවත් කරමින් අග්‍රාමාත්‍යතුමිය විසින් අතුරුගිරිය ගුණසේකර ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය ලේඛනයට සිසුන්ගේ නම් ඇතුළත් කරන ලදී. අනතුරුව එම සිසුන් වෙත පාසල් නිල ඇඳුම් සහ විෂයානුබද්ධ ක්‍රියාකාරකම් පොත් ලබා දීම ද සිදු කෙරිණි.

​මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ ද සඳහන් කළාය:

​“රටේ දරුවන් සතුටින් පාසල් එනු දැකීම සඳහා පොත් බෑගයේ බර අඩු කර, පීඩනයෙන් තොර ඉගෙනුම් වටපිටාවක් සැකසීම මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල සුවිශේෂී ලක්ෂණයක්. ප්‍රියමනාප පාසල් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා වූ ‘සිහින පාසල’ සංකල්පය යථාර්ථයක් කිරීමට අප කැපවී සිටිනවා. එසේම, 2026 වසරේ දී හයවන ශ්‍රේණියේ සිසුන් සඳහා ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියේ දී එම දරුවන්ට ලබා දීමට අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කරමින් පවතිනවා.”

​නව ප්‍රතිසංස්කරණ තුළින් තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව හා ගණිතය (STEM) යන විෂය ක්ෂේත්‍ර සඳහා පදනම ගොඩනැගීමත්, විද්‍යා මූලධර්ම මුල් කරගනිමින් පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම්වල නිරත වීමත්, ඉංග්‍රීසි හා දෙවන භාෂාව ඉගැන්වීම සංවර්ධනය කිරීමත් ප්‍රාථමික අධ්‍යාපනයේ පදනම වී තිබේ. දශක ගණනාවක් පුරා මෙරට පැවතියේ පොතේ පතේ දැනුමට පමණක් සීමා වූ තරගකාරී අධ්‍යාපන රටාවකි. එම ක්‍රමය තුළින් දරුවන් අධ්‍යාපනයෙන් ඈත් වීමේ ප්‍රවණතාවක් පවතින බැවින්, සෑම දරුවෙකුගේම අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීමේ වගකීම රජය සතු බව අවධාරණය කළාය.

​ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයක් වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටී. මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හුදු විෂයමාලා වෙනසක් පමණක් නොව, සමස්ත අධ්‍යාපන පද්ධතියේම සිදුවන ‘පරිවර්තනීය වෙනසක්’ ලෙස හැඳින්විය හැක්කේ එබැවිනි.

​මෙම පරිවර්තනීය ක්‍රියාවලිය තුළ දරුවන්ගේ මානසික නිදහස සුරැකීමට වැඩි අවධානයක් යොමු කර ඇති අතර, සමබර පෞරුෂයකින් යුත් අනාගත පුරවැසියෙකු ලොවට දායාද කිරීම එහි මූලික අරමුණයි. අකුරු පමණක් නොව ජීවිතය පිළිබඳව ද දරුවන්ට කියා දෙන ගුරුවරුන්ගේ වෘත්තීයභාවය රැක ගැනීමටත්, ඔවුන්ගේ හැකියාවන් ප්‍රවර්ධනය කිරීමටත් මෙම ප්‍රතිසංස්කරණ හරහා සැලසුම් සකස් කර ඇත.

​“දෙමාපියන්ගේ මුදල් පසුම්බිය මත දරුවාගේ අධ්‍යාපනය තීරණය වීමට අප කිසිසේත්ම ඉඩ තබන්නේ නැහැ. ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කිරීමේ වගකීම රජයක් ලෙස අප භාරගෙන ඇති බව විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කරනවා,” යැයි ද අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් පැවසුවාය.

​මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික නායකයන්, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ, කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල්, අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව, අතුරුගිරිය ගුණසේකර ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනී නදීකා ධර්මදාස යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් සහ දෙමාපියන් විශාල පිරිසක් සහභාගී වූහ.