Wednesday, September 09, 2026
Follow Us
ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවෙයි

​ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මහතා අද (09) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

​'දිට්වා' සුළි කුණාටුව ඇතුළුව ශ්‍රී ලංකාව මුහුණ දුන් විවිධ ජාතික අභියෝගවලදී ඉන්දීය රජය ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමිය මෙහිදී සිය කෘතඥතාව පළ කළාය. විශේෂයෙන්ම, ශ්‍රී ලංකාවට මානුෂීය හා ආපදා සහන ලබාදීමේ වැඩපිළිවෙළක් ලෙස ඉන්දීය රජය විසින් “ඔපරේෂන් සාගර් බන්ධු” (Operation Sagar Bandhu) මෙහෙයුම දියත් කිරීම ද අග්‍රාමාත්‍යතුමියගේ ඇගයීමට ලක්විය.

​ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින මිත්‍රත්වය සහ සහයෝගීතාව රාජ්‍යතාන්ත්‍රික හා ආර්ථික සබඳතාවලින් ඔබ්බට යන බව සඳහන් කළ අග්‍රාමාත්‍යතුමිය, සංස්කෘතික, ඓතිහාසික හා ආගමික සබඳතා දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වයේ සුවිශේෂී කොටසක් බව අවධාරණය කළාය.

​ඉන්දියාව ශ්‍රී ලංකාවේ වැදගත් හවුල්කරුවෙකු ලෙස වෙළඳ, සංවර්ධන, ආරක්ෂක සහ අධ්‍යාපන ඇතුළු පුළුල් පරාසයක ක්ෂේත්‍රයන් හි කටයුතු කරන බව මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අවධාරණය විය.

පාර්ලිමේන්තු හා රාජ්‍ය අංශ ඇතුළුව විවිධ ක්ෂේත්‍රවල දෙරට අතර පවතින සහයෝගීතාව පවත්වාගෙන යාම, ආයතනික හැකියාවන් සහ යහපාලනය ශක්තිමත් කිරීමට දායක වී ඇති බව ද මෙහිදී සිහිපත් කෙරිණ.

​ආරක්ෂක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දෙරට අතර පවතින දිගුකාලීන සහයෝගීතාව පැසසුමට ලක් කළ අග්‍රාමාත්‍යතුමිය, එම සහයෝගීතාව ඉදිරියටත් පවත්වාගෙන යාමේ සහ තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නාය.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ මෙම සංචාරය අතරතුර අවබෝධතා ගිවිසුම් (MoUs) කිහිපයකට එළඹීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

​කලාපීය සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ වැදගත්කම, විශේෂයෙන් සංචාරක හා අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි සබඳතා වර්ධනය කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යතුමිය මෙහිදී අවධාරණය කළාය.

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ විශ්වවිද්‍යාල අතර සහයෝගීතාව ගොඩනැගීම මෙන්ම, ඉන්දීය තාක්ෂණ ආයතන (IITs) වැනි උසස් අධ්‍යාපන ආයතන හා වැඩසටහන් හරහා දැනුම හුවමාරු කරගැනීම, නවෝත්පාදනය සහ කුසලතා සංවර්ධනය තවදුරටත් ශක්තිමත් කළ හැකි බව ද අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළාය.

​මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ශ්‍රී සන්තෝෂ් ජා මහතා, ආරක්ෂක අමාත්‍යාංශයේ ඒකාබද්ධ ලේකම් ආචාර්ය අමිත් ටෙලන්ග් මහතා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඒකාබද්ධ ලේකම් ප්‍රසන්න ශ්‍රීවාස්තව මහතා, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සගාරිකා බෝගහවත්ත මහත්මිය ඇතුළු විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශවල නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.