ඔඩිෂා වෙරළට ඔබ්බෙන් බෙංගාල බොක්ක මුහුදු තීරයේදී නාවිකයන් 24 දෙනෙකු රැගත් පැනමා රාජ්යයට අයත් භාණ්ඩ ප්රවාහන නෞකාවක් අනතුරකට ලක්ව ගිලී ගොස් ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබේ.
මෙම නෞකාවේ චීන ජාතිකයන් 20 දෙනෙකු, මියන්මාර් ජාතිකයන් තිදෙනෙකු සහ එක් බංග්ලාදේශ ජාතිකයෙකු සිට ඇති බව සදහන් වේ.
මෙය පැරදීප් වරායේ සිට සිංගප්පූරුව දෙසට යකඩ අමුද්රව්ය තොගයක් ප්රවාහනය කරමින් තිබූ නෞකාවක්.
පැරදීප් වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 240 ක් පමණ දුරින් මුහුදු තීරයේදී අනතුර සිදුව ඇති බව ඉන්දීය බලධාරීන් තහවුරු කර තිබේ.
විදෙස් මාධ්ය සඳහන් කරන්නේ නෞකාව අනතුරට ලක්වන අවස්ථාවේ නිකුත් කෙරුණු ආපදා සංඥාවට අනුව ක්රියාත්මක වූ ඉන්දීය නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය වහාම සෝදිසි සහ මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ බවයි.
අදාළ නාවිකයන් අතුරින් දෙදෙනෙකු මුදා ගැනීමට සහන කණ්ඩායම් මේ වනවිට සමත්ව ඇති අතර, අතුරුදහන් සෙසු පිරිස සොයා අතිරේක නෞකා සහ යාත්රා යෙදවීමට පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
අසල අනෙකුත් වෙළඳ නෞකාවල සහායද මේ සඳහා ලබාගැනීමටයි පියවර ගෙන ඇත්තේ. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අතුරුදන් නාවිකයන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්රියාත්මකයි.