මෙරට සංචාරයක නිරත ලෝක බාලදක්ෂ ව්‍යාපාර සංවිධානයේ (WOSM) ආසියා-පැසිෆික් කලාපීය (APR) බාලදක්ෂ කමිටුවේ සභාපති ආචාර්ය එම්. සින් බින් බිඩින් මහතා ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා අතර හමුවක් අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
කලාපීය බාලදක්ෂ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙරට සංචාරයක නිරත මෙම නියෝජිත පිරිස සමඟ, ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරයේ අඛණ්ඩ සංවර්ධනය, එය ග්‍රාමීය මට්ටම දක්වා තවදුරටත් ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක "රටම එකට" ජාතික වැඩසටහන සඳහා, විදේශීය අත්දැකීම් හා සාර්ථක භාවිතයන් හුවමාරු කරගනිමින් බාලදක්ෂ ව්‍යාපාරයේ පූර්ණ සහාය ලබා දෙන බවත්, ඒ සඳහා වන සැලසුම් ඉදිරියේ දී ඉදිරිපත් කරන බවත් ආසියා පැසිෆික් කලාපීය නියෝජිත පිරිස මෙහිදී සහතික විය.
එසේම 2027 වසරේ පෙබරවාරි මස ආසියා පැසිෆික් බාලදක්ෂ ජම්බෝරිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමටත්, ඒ සඳහා රජයේ සහාය ලබාදීම සම්බන්ධව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති රන්සිරි පෙරේරා මහතා, ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා, ලෝක බාලදක්ෂ ව්‍යාපාර සංවිධානයේ ආසියා-පැසිෆික් කලාපීය බාලදක්ෂ කමිටුවේ උප සභාපති දේව් රාජ් ගිමිරේ මහතා, උපදේශක Wendel E. Avisado, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් කපිල පෙරේරා මහතා, කමිටු සභාපති කමල්නාත් ජිනදාස මහතා, ජාත්‍යන්තර කොමසාරිස් වෛද්‍ය අසංක එරියාව මහතා, සහකාර ප්‍රධාන කොමසාරිස් ප්‍රභාත් කුලරත්න මහතා ඇතුළු ආසියා-පැසිෆික් කලාපීය බාලදක්ෂ කමිටුවේ කලාපීය අධ්‍යක්ෂවරුන්, උපදේශකවරුන් සහ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් ද එක්ව සිටියහ.