ඉතා කෙටි කාලයක් තුළ ශ්රී ලංකාව අත්පත් කරගෙන ඇති ආර්ථික ජයග්රහණයන් හා (ESCAP) සංවිධානය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්ය මහලේකම් Armida Salsiah Alisjahbana මහත්මිය සිය ප්රශංසාව පළ කර තිබේ.
තායිලන්තයේ බැංකොක් අගනුවර පැවැත්වූ ආසියා පැසිෆික් රටවල් සඳහා වන එක්සත් ජාතින්ගේ ආර්ථික හා සමාජ කොමිසමේ (ESCAP) 82වන සැසිවාරය අතරතුර ග්රාමීය සංවර්ධන ,සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්ය මහාචාර්ය උපාලි පන්නිල මහතා සහ එක්සත් ජාතීන්ගේ නියෝජ්ය මහලේකම් සහ (ESCAP) සංවිධානයේ විධායක ලේකම් Mrs Armida Salsiah Alisjahbana අතර පැවති හමුවේදී මේ බව ප්රකාශ කර තිබේ.
එම සාකච්ඡාවේදී විශේෂයෙන් ශ්රී ලංකාව වර්තමානය වන විට අත්පත් කරගෙන ඇති ආර්ථික ජයග්රහණ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කළ අතර උද්ධමනය පාලනය කිරීම, ණය ප්රතිව්යුහගතකරණය කිරීම, විදේශ සංචිත ඉහළයාම සහ විවිධ අභියෝග හමුවේ රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාම ආදී කරුණු පිළිබඳව සඳහන් කෙරිණි.
එමෙන්ම දිළිඳුකම තුරන් කිරීම සඳහා ක්රියාත්මක කර ඇති ප්රජා ශක්ති ජාතික වැඩසටහන පිළිබඳවත් සමාජ ආරක්ෂණය හා ප්රජා සවිබලගැන්වීමේ ක්රියාවලිය සම්බන්ධයෙන් ද නියෝජ්ය මහලේකම්තුමියගේ අවධානයට ලක් කෙරිණි.
ශ්රී ලංකාවේ දැනට සිදුවන ජනගහනයේ ව්යුහාත්මක පරිවර්තනය, විශේෂයෙන් වැඩිහිටි ජනගහනය නිරන්තරයෙන් වැඩිවීම පිළිබඳව එහිදී අවධානය යොමු විය. එමෙන්ම, මතුවන අභියෝගයන්ට ප්රතිචාර දැක්වීම සඳහා ශ්රී ලංකා රජය ගෙන යන ක්රියාමාර්ග පිළිබඳව ද දැනුවත් කෙරිණි . ඒ අතර ප්රජා පදනම් සත්කාර පද්ධති ශක්තිමත් කිරීම, සමාජ ආරක්ෂණ රාමුව පුළුල් කිරීම, “Smart Villages” වැනි වැඩසටහන් හරහා ඩිජිටල්කරණය ඉදිරියට ගෙන යාම, සහ දිගුකාලීන සත්කාර සඳහා ඒකාබද්ධ ප්රවේශයන් සංවර්ධනය කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
තවද, සමාජයේ සියලු කණ්ඩායම් වෙත සංවර්ධන ප්රතිලාභ සාධාරණ ලෙස ළඟා කරමින්, ජනගහන වෙනස්කම් හමුවේ ශක්තිමත්භාවය සහ තිරසාරභාවය වැඩිදියුණු කිරීම සඳහා ජනතා කේන්ද්රීය සහ අන්තර්කරණීය ප්රතිපත්තිවල වැදගත්කම පිළිබඳව අදහස් හුවමාරු කෙරිණි.
මෙම සමාන ප්රමුඛතා ඉදිරියට ගෙන යාම සඳහා ESCAP සමඟ අඛණ්ඩ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට රජයක් ලෙස බලාපොරොත්තු වන බව ද අමාත්ය උපාලි පන්නිල මහතා මෙහිදී සඳහන් කළේය.
එමෙන්ම ඕනෑම අවස්ථාවක ශ්රී ලංකා රජය වෙනුවෙන් සහයෝගය ලබාදීමට තම සංවිධානය සූදානම් බව ද ඒ් මහත්මිය මෙහිදී අවධාරණය කළාය.