ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Matthew Duckworth මහතා සහ පරිසර අමාත්ය වෛද්ය දම්මික පටබැඳි මහතා අතර හමුවක් ඊයේ (24) පරිසර අමාත්යාංශයේදී පැවැත්විණි.
මෙහිදී ගෝලීය සහ කලාපීය පාරිසරික වැඩපිළිවෙළවල් සම්බන්ධයෙන් ශ්රී ලංකාව සහ ඕස්ට්රේලියාව අතර පවතින සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු විය.
විශේෂයෙන්ම ඕස්ට්රේලියාව ප්රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමට නියමිත COP31 දේශගුණික සාකච්ඡා පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
දේශගුණික විපර්යාසවලට අනුහුරු වීම සහ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම, දේශගුණික මූල්යකරණය, අලාභ හා හානි පියවීමේ යාන්ත්රණයන් මෙන්ම ඉන්දු-පැසිෆික් කලාපීය සහයෝගීතාවය සම්බන්ධයෙන් ශ්රී ලංකාවේ ප්රමුඛතා මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. ඕස්ට්රේලියාව අඛණ්ඩව ලබාදෙන සහයෝගය අගය කළ අමාත්යවරයා, දේශගුණික අනුහුරුකරණය, සාගර සහ වෙරළබඩ පරිසර පද්ධති ආරක්ෂා කිරීම, ආපදා අවදානම් අවම කිරීම සහ තාක්ෂණික සහාය ලබා ගැනීම වැනි ක්ෂේත්රවල සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.
දෙපාර්ශ්වයම ඉන්දියන් සාගර කලාපීය සංගමයේ (IORA) රාමුව තුළ සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළ අතර, පාරිසරික තිරසාරභාවය සහ තිරසාර සාගර පාලනය සඳහා වූ ඔවුන්ගේ පොදු කැපවීම යළි තහවුරු කළහ. නිල් ආර්ථිකය ප්රවර්ධනය කිරීමේදී ඕස්ට්රේලියාව දක්වන නායකත්වය සහ ධාරිතා වර්ධනය, දැනුම බෙදා ගැනීම සහ සාගර සම්පත් කළමනාකරණය සඳහා ශ්රී ලංකාව සම්බන්ධ කර ගැනීම මෙහිදී ඇගයීමට ලක් විය.
මීට අමතරව, නිල් කාබන් පරිසර පද්ධති, සාගර දූෂණය පාලනය, සාගර විද්යා පර්යේෂණ මෙන්ම ආපදා අවදානම් කළමනාකරණය සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති වැනි නැගී එන සහයෝගීතා ක්ෂේත්ර පිළිබඳව ද අවධානය යොමු කෙරිණි. එමෙන්ම, ශ්රී ලංකාවේ කාන්තාවන්ගේ ජීවනෝපාය මාර්ග දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන අයුරින් නංවාලීම සඳහා ඕස්ට්රේලියාවට ලබාදිය හැකි විභව සහයෝගය පිළිබඳව ද මහ කොමසාරිස්වරයා කරුණු පැහැදිලි කළේය. ශුද්ධ ශුන්ය කාබන් (NetZero) තත්ත්වය ළඟා කර ගැනීම සඳහා සහයෝගීතාවයෙන් කටයුතු කිරීම සහ COP31 සාකච්ඡා සඳහා වන සූදානම් කිරීම් පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.