ශ්‍රී ලාංකිකයන් සතු ඔරොත්තු දීමේ හැකියාව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාගේ ඇගයීමට.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් (Andrew Patrick) මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (24) දින නාරාහේන්පිට, නිලමැදුර අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.
දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තහවුරු කරමින් විවිධ අර්බුදකාරී අවස්ථාවලදී ශ්‍රීලංකාව වෙත බ්‍රිතාන්‍ය රජය දැක්වූ සහයෝගීතාව ඇගයීමට ලක් කළ අමාත්‍යවරයා මෙරට සංවර්ධන ක්ෂේත්‍ර ගණනාවක ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.
මෙහිදී ශ්‍රී ලංකාවේ දැනට පවතින රාජ්‍ය සේවා ව්‍යුහය තුළ පවතින පැරණි ක්‍රමවේදයන් වෙනුවට එය වර්තමානයට හා අනාගතයට ගැළපෙන ලෙස ව්‍යුහමය වශයෙන් වෙනස් විය යුතු බවත් පෙන්වා දුන් මහ කොමසාරිස්වරයා ඒ සඳහා අවශ්‍ය මානව සම්පත පුහුණු කිරීම් සහ සංවර්ධන කටයුතු (Training and Development) වෙනුවෙන් උපරිම සහාය ලබා දීමට බ්‍රිතාන්‍ය රජය සූදානම් බව ප්‍රකාශ කළේ ය. එම පුහුණු වැඩසටහන් ශ්‍රී ලංකාවේ අනන්‍යතාවයට සහ දේශීය අවශ්‍යතාවලට ගැළපෙන ලෙස සකස් කරගැනීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.
ගෝලීය දේශගුණික විපර්යාස හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අදහස් හුවමාරු විය. ආර්ථික හා සමාජීය අර්බුද හමුවේ ශ්‍රී ලාංකිකයන් සතු ශක්තිමත් ඔරොත්තු දීමේ හැකියාව (Resilience) හා නම්‍යශීලී භාවය පිළිබඳව මහ කොමසාරිස්වරයාගේ ඇගයීමට ලක් විය. විශේෂයෙන් ම වත්මන් ජනාධිපතිවරයා සතු අර්බුද කළමනාකරණ දක්ෂතාවය හේතුවෙන් රට යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවත් දූෂණ විරෝධී රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ වත්මන් රජය ගෙන යන ක්‍රියාමාර්ගවල සාර්ථකත්වය පිළිබඳවත් මෙහිදී අවධානයට ලක් විය.
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති නීතිමය බාධාවන් ඉවත් කර හැකි ඉක්මනින් එය පැවැත්වීමට රජය කටයුතු කරමින් සිටින බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා මෙහිදී පැහැදිලි කළේ ය.
මෙහිදී පුත්තලම දිස්ත්‍රික්කය හා එහි ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව ද මහ කොමසාරිස්වරයා විමසා සිටි අතර සිංහල, දෙමළ, මුස්ලිම් ආදී ජන විවිධත්වය සහිත දිස්ත්‍රික්කයක් ලෙස සියලු ජාතීන් ඉතා සාමකාමීව සහ සහයෝගයෙන් ජීවත් වීම මුළු රටටම ආදර්ශයක් බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා පුත්තලම දිස්ත්‍රික්කයේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට අදාළ කටයුතු පැහැදිලි කරන ලදී.
පුත්තලම දිස්ත්‍රික්කය සූර්ය බලශක්තිය සහ සුළං බලශක්තිය (Wind & Solar Farms) සඳහා ඉතා යෝග්‍ය ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇති බවත්, ජන ජීවිතයට හෝ පරිසරයට හානියක් නොවන පරිදි එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳවත් අවධාරණය විය.
විශේෂයෙන් ම සාගරය මැද සුළං බලාගාර ඉදිකිරීමේ (Offshore Wind) සංකල්පය පිළිබඳව මෙහිදී මහ කොමසාරිස්වරයාගේ අවධානය යොමු වූ අතර එහි වැදගත්කම පිළිබඳව ද මූලිකව සාකච්ඡා විය. ඉදිරියේදී පුත්තලම ඇතුළු දිස්ත්‍රික් කීපයක සංචාරය කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා බ්‍රිතාන්‍ය රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට ද මෙහිදී සහතික විය.
මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්.ආලෝකබණ්ඩාර, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන උපදේශක ඉන්සාෆ් මාකර් යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් කීපදෙනෙකු සහභාගි වී සිටිය හ.