"එක්සත් රාජධානියේ නියෝජ්ය අග්රාමාත්යවරයාගේ සංචාරය ශ්රී ලංකාවේ යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ පිළිබඳ ජාත්යන්තර විශ්වාසය තහවුරු කරන්නක්"
-ජනපති
"ශ්රී ලංකාවේ යළි ගොඩනැඟීම, ආර්ථික ප්රතිසංස්කරණ සහ සංහිඳියා වැඩපිළිවෙළට එක්සත් රාජධානියේ අඛණ්ඩ සහාය"
- එක්සත් රාජධානියේ නියෝජ්ය අග්රාමාත්ය David Lammy මහතා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මෙරට සංචාරයක නිරත එක්සත් රාජධානියේ නියෝජ්ය අග්රාමාත්ය David Lammy මහතා අතර හමුව අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
පසුගිය ආර්ථික අර්බුදයෙන් සහ මෑතකාලීනව සිදු වූ දිට්වා සුළි කුණාටුවෙන් පසු යළි ගොඩනැඟෙමින් සිටින අවස්ථාවක ශ්රී ලංකාවට පැමිණීම පිළිබඳ මෙහිදී එක්සත් රාජධානියේ නියෝජ්ය අග්රාමාත්යවරයා වෙත ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා නියෝජ්ය අග්රාමාත්යවරයාගේ මෙම සංචාරය ශ්රී ලංකාවේ යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ පිළිබඳ ජාත්යන්තර විශ්වාසය තහවුරු කරන්නක් බව ද සඳහන් කළේය.
එමෙන්ම, දිට්වා සුළි කුණාටුව හමුවේ මුහුණ දීමට සිදු වූ අමිහිරි අත්දැකීම සහ යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී නියෝජ්ය අග්රාමාත්යවරයා දැනුවත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඒ වෙනුවෙන් අවශ්ය විදේශ විනිමය උපයා ගැනීමේදී සංචාරක කර්මාන්තය, අපනයන සහ විදේශ ආයෝජන ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරන බවත්, එහිදී සියලු මිත්ර රටවල සහාය අපේක්ෂා කරන බවත්, එක්සත් රාජධානියට එහිදී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ හැකි වනු ඇති බවත් සඳහන් කළේය.
එමෙන්ම එක්සත් රජධානිය සහ ශ්රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන මිතු දම සිහිපත් කරමින් සංචාරක ක්ෂේත්රය සහ අපනයන වෙළෙඳපොළ තුළ එක්සත් රාජධානිය මේ වන විට ශ්රී ලංකාවට ලබා දෙන පුළුල් දායකත්වයත්, විශේෂයෙන් ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ වන වැඩසටහනේදී සහ ණය ප්රතිව්යුහගතකරණ ක්රියාවලියේදී මෙන්ම ශ්රී ලංකාවේ ඇඟළුම සඳහා පනවා තිබු තීරු බදු ඉවත් කරමින් ලබා දුන් සුවිශේෂී සහායත් කෘතවේදීව අගය කළේය.
එක්සත් රාජධානීය සහ ශ්රී ලංකාව අතර බැඳීම ඉතා සුවිශේෂී බව මෙහිදී සඳහන් කළ නියෝජ්ය අග්රාමාත්ය David Lammy මහතා සෑම විටම ශ්රී ලංකාවට ඉතා සමීප රටක් ලෙස කටයුතු කිරීමට ලැබීම ඉතා අගය කරන බවත්, මේ වන විට ශ්රී ලංකාව අනුගමනය කරන ආර්ථික සහ සමාජ පරිවර්තනය වෙනුවෙන් අඛණ්ඩ සහාය ලබා දෙන බවත් ප්රකාශ කළේය.
එමෙන්ම, ශ්රී ලංකාවේ යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ සංහිඳියාව වෙනුවෙන් රජය ක්රියාත්මක කරන සෑම ධනාත්මක වැඩසටහනකදීම එක්සත් රාජධානියේ පූර්ණ සහාය ලබා දෙන බවට ද නියෝජ්ය අග්රාමාත්යවරයා සහතික වූහ.
යුද්ධයෙන් පසු යළි ශ්රී ලංකාව ගොඩනැගීමේදී වත්මන් රජය අනුගමනය කරන වැඩසටහන් සහ ජනතාව වෙනුවෙන් ආරම්භ කර ඇති පුළුල් සංවර්ධන වැඩපිළිවෙළද ඇගයීමට ලක් කරමින් ඒ සඳහා සහාය ලබා දෙන බවටද වැඩිදුරටත් ප්රකාශ කළහ.
මෙම හමුවට ශ්රී ලංකාවේ බ්රිතාන්ය මහ කොමසාරිස් Andrew Patrick, උප අග්රාමාත්යවරයාගේ ජාත්යන්තර ඒකකයේ ප්රධානී David Meyer යන මහත්වරු ඇතුළු එක්සත් රාජධානියේ නියෝජත කණ්ඩායම සහ ශ්රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්ය විජිත හේරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු එක්ව සිටියහ.