Tuesday, February 17, 2026
Follow Us
ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර ක්‍රීඩා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරයි

2026 T20 ලෝක කුසලාන තරඟාවලියට සමගාමීව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන පකිස්ථාන ෆෙඩරල් අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සහ පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ (PCB) සභාපති සෙයිඩ් මොහොසින් රාසා නක්වි (Syed Mohsin Raza Naqvi) මහතා ප්‍රමුඛ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක්, මෙරට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා හමු වී විශේෂ සාකච්ඡාවක නිරත විය.

මෙහිදී පකිස්ථාන අමාත්‍යවරයා අවධාරණය කළේ, පකිස්ථානය සහ ඉන්දියාව අතර පැවති තීරණාත්මක ලෝක කුසලාන තරගය සඳහා ශ්‍රී ලංකාව ලබා දුන් සුවිශේෂී සත්කාරකත්වය සහ සුදුසු වටපිටාව සකස් කර දීම පිළිබඳව පකිස්ථාන රජයේ සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ විශේෂ ස්තුතිය අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාට පිරිනමන බවයි.

දෙරට අතර ක්‍රීඩා ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා මෙම හමුව මනා පිටිවහලක් වූ බව පකිස්ථාන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙහිදී දෙරටේ තරුණ පරපුරේ කුසලතා වර්ධනය සඳහා විශේෂ හුවමාරු වැඩසටහන්  ආරම්භ කිරීම සහ ඉදිරි ක්‍රීඩා ව්‍යාපෘති සඳහා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මගපෙන්වීම යටතේ තාක්ෂණික සහයෝගීතාව ලබා ගැනීම පිළිබඳව ද සාකච්ඡා විය.

මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් එස්. අච්චුදන් (S. Achchudan) මහතා ද එක්ව සිටියේ ය.

මෙම හමුවට ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ෆහීම් උල් අසීස්, විදේශගත පකිස්ථානුවන් සහ මානව සම්පත් සංවර්ධන අමාත්‍ය චෞද්රි සාලික් හුසේන්, PCB සභාපතිවරයාගේ විශේෂ උපදේශක අමීර් මිර්, PCB මෙහෙයුම් නිලධාරී සුමයිර් අහමඩ් සෙයිඩ්, මුහම්මද් සල්මන් ලියාකාත්, අධ්‍යක්ෂ (ජාත්‍යන්තර සම්බන්ධීකරණ), අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය, නියෝජ්‍ය මහකොමසාරිස් සුනෙයිරා ලතීෆ්, පකිස්ථාන සුපර් ලීග් (PSL) ප්‍රධාන විධායක නිලධාරී සල්මන් නසීර් යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.