Tuesday, February 17, 2026
Follow Us
අධ්‍යාපන සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා ද කැනඩාවේ සහාය

ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ඉසබෙල් මාටින් (H.E. Isabelle Martin) මහත්මිය සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා අතර විශේෂ සුහද හමුවක් ඊයේ (16) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවේදී  අවධානය යොමු වූයේ කැනඩාවේ "ඉන්දු-පැසිෆික් උපායමාර්ගය" සහ ලංකාවේ භූමිකාව පිළිබඳව යි. විශේෂයෙන් ම  "ඉන්දු-පැසිෆික් උපායමාර්ගය" (Indo-Pacific Strategy) යටතේ මෙතෙක් පැසිෆික් කලාපයට වැඩි අවධානයක් යොමු වුව ද, මෙම වසරේ සිට ඉන්දියන් සාගර කලාපය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව මහ කොමසාරිස්වරිය පැවසුවා ය. එහිදී ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවට තීරණාත්මක වැදගත්කමක් හිමිවන බැවින් මෙම උපායමාර්ගය හරහා ඉදිරියේදී ශ්‍රී ලංකාවට විශාල ප්‍රතිලාභ රැසක් අත්කර ගැනීමට අවස්ථාව පවතින බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

ශ්‍රී ලංකා රජය ආරම්භ කර ඇති  උසස් අධ්‍යාපන සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා කැනඩාවේ සහාය අපේක්ෂා කරන බව මෙහිදී අමාත්‍ය අබයරත්න මහතා විසින් දන්වා සිටි අතර සංහිඳියාව, උසස් අධ්‍යාපනය හා සංවර්ධන ව්‍යාපෘති සඳහා සහාය ලබා දීමට කැනඩා මහ කොමසාරිස්වරියගේ එකඟතාව පළ වූවා ය. 

විශේෂයෙන් ම කැනඩාවේ  "Pathways to Peace" ව්‍යාපෘතිය හරහා ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමටත්, දෙවන භාෂාවක් ලෙස අන්‍යෝන්‍ය භාෂා ඉගෙනීම දිරිමත් කරමින් සන්නිවේදනය වැඩි දියුණු කිරීමටත් කැනඩාවේ සහාය හිමි වන බවත් උසස් අධ්‍යාපනය සඳහා  ශ්‍රී ලාංකික සිසුන්ට කැනඩාවේ ශාස්ත්‍රපති සහ පර්යේෂණ උපාධි සඳහා වැඩි අවස්ථාවන් ලබාදීමට මෙහිදී එකඟතාව පළ විය.

එමෙන් ම තාක්ෂණික සහයෝගීතාව යටතේ පුත්තලම, මන්නාරම සහ උතුරු-නැගෙනහිර පළාත්වල පවතින පානීය ජල ගැටලු විසඳීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමටත්, මූලික අධ්‍යයනයකින් පසු අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත් කැනඩා නියෝජිත පිරිස කැමැත්ත පළ කළ හ.

ඉන්දියාව සහ කැනඩාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳවද මෙහිදී සුළුවෙන් කරුණු සාකච්ඡා වූ අතර, කලාපීය වශයෙන් ශ්‍රී ලංකාව ඉන්දියාවට සමීපව කටයුතු කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධානයට ලක් විය.

මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්.ආලෝකබණ්ඩාර මහතා සහ කැනඩා මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන හා වෙළඳ උපදේශක ග්වෙන් ටෙමෙල් මහත්මිය (Ms.Gwen Temmel ) හා සහයෝගිතා ප්‍රධානී කිරිල් අයෝර්ඩනොව් (Mr. Kiril Iordanov) මහතා ද සහභාගී වූහ.