රථවාහන වැරදි කියන්න පොලිස් රථවාහන මූලස්ථානයෙන් Whatsapp අංකයක් 070-4755600
අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම වාහනවල රියදුරන් මෙන්ම සියලුම මගීන් ද ආරක්ෂිත ආසන බඳ පටි පැළඳීමේ නීතිය 2026 සැප්තැම්බර් 19 වෙනිදා සිට අනිවාර්ය කිරීමට තීරණය කර ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව කියයි.
ඉකුත් 2025 වසරේ අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ මෙම නීතිය වසරකට ආසන්න කාලයක් වරින්වර ක්‍රියාත්මක කිරීම කල්දැමුණු බැවින් නැවත කිසිසේත් කාලය දීර්ඝ කිරීමක් සිදුනොවන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා පවසයි.
සභාපතිවරයා මේ බව පැවසුවේ, අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම රියදුරන් සහ මගීන් ආරක්ෂිත ආසන බඳ පටි පැළදීමේ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද දින (19) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි. එම මාධ්‍ය සාකච්ඡාව බත්තරමුල්ල, කොස්වත්ත පිහිටි ‘මගනැගුම මහමැදුර’ මහාමාර්ග අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
නිෂ්පාදකයන් විසින් වාහනවල මැද ආසන සහ පසුපස ආසනවල ආරක්ෂිත පටි සකස් කර නොමැති වාහනවල ඒවා විධිමත්ව සකස්කර ගැනීමට සහන කාලයක් ලබාදුන් බව සභාපතිවරයා මෙහිදී පැවසීය.
මෙම සහන කාලසීමාව ඉකුත් ජූනි මස 10 වනදායින් අවසන් වීමට නියමිතව තිබුනද විවිධ පාර්ශ්වවලින් ලද ඉල්ලීම් මත සහ විධිමත් ආරක්ෂිත ආසන පටි සවිකර ගැනීම වෙනුවෙන් සැප්තැම්බර් 19 වන දින දක්වා කාලය දීර්ඝ කෙරිණ. එමනිසා තවදුරටත් එම කාලසීමාව දීර්ඝ නොකරන අතර ලබන 19 වනදා සිට මෙම නීතිය පිලිනොපදින සියලුදෙනා දඩයකට යටත් වේ.
ඒ අනුව 19 වෙනිදා සිට අධිවේගී මාර්ගයේ ගමන් කරන රියදුරන් පමණක් නොව සියලුම මගීන් ද මෙම නීතියට යටත්වන අතර, එය කඩකරන්නේ නම් මගියාට ද දඩ මුදල් නියම කෙරෙනු ඇත. එළඹෙන 19 වන දින සිට අධිවේගී මාර්ගයට ඇතුලු කරන සියලුම රියදුරන් සහ මගීන් ආසන පටි පැළඳ ඇත්දැයි පොලිසිය විසින් පරීක්ෂා කිරීම් සිදුකරනු ලබයි.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කර ඇති මාර්ග ආරක්ෂාව පිළිබඳ වසර දෙකක ක්‍රියාකාරී සැලැස්ම යටතේ ප්‍රවාහනයේ ආරක්ෂාව වෙනුවෙන් පියවර රැසක් ගෙන ඇති අතර, එහි තවත් පියවරක් ක්‍රියාත්මක කරමින් මෙම නීතිය බලාත්මක කිරීම සිදුකෙරෙනු ඇත. මෙමගින් අපේක්ෂා කරන්නේ වසරකට සිදුවන 2,500 කට අධික ජීවිත හානි සහ දේපළ හානි අවම කර ප්‍රවාහනයේ සුරක්ෂිතතාව ආරක්ෂා කිරීමයි.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොලිසියේ මාර්ග ආරක්ෂාව, රථවාහන හා පාලන කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල මහතා,
‘අනතුරු වලක්වා ගැනීම සඳහා ආරම්භ කර ඇති මෙම වැඩපිළිවෙල කාලීන අවශ්‍යතාවයක්. අධිවේගී මාර්ගවල පැයකට කිලෝමීටර් සියයක වේග ධාවනයේ යෙදෙන වාහනවල රියදුරන් සහ මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආසන බඳ පටි පැළඳීම අත්‍යවශ්‍ය සාධකයක්. රියදුරු, ඉදිරිපස අසුන පමණක් නොව පසුපස අසුන්වල සිටින මගීන් ද බඳ පටි පැලඳීම තුළින් අනතුරකදී සිදුවන හානි අවම කරගැනීමට හැකියාව ලැබෙනවා.
අධිවේගී මාර්ගයේත් මහාමාර්ගයේත් ධාවනයේ යෙදෙන වාහනවල රියදුරන් යම් වරදක් සිදුකරනවානම් ඒ පිළිබඳ දැනුම් දීමට විශේෂ දුරකථන අංකයක් ලබාදී තිබෙනවා. එය සෘජුවම රථවාහන මූලස්ථානයට යොමුවී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා. 070-4755600 දුරකථන අංකයට Whatsapp මගින් සම්බන්ධ වීමෙන් මහජනතාවට මෙම පැමිණිලි සිදුකල හැකියි. රථවාහන වැරදි සඳහා නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා.’
මෙම අවස්ථාවට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ හිටපු ප්‍රධාන වෛද්‍ය නිලධාරි සහ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ජ්‍යෙෂ්ඨ විකලාංග වෛද්‍ය නරේන්ද්‍ර පිංතු මහතා ඇතුළු මාර්ග ආරක්ෂාව පිළිබඳ විෂය පථයට අදාල විශේෂඥයින් පිරිසක් එක්ව සිටියහ.