-වත්මන් ආණ්ඩුව යටතේ ගොවි ජනතාවට වඩා හොඳ ජීවිතයක් ලබා දෙනවා
- වී මිලදී ගැනීම සඳහා ඉතිහාසයේ වැඩිම මුදලක් වෙන් කළේ මේ ආණ්ඩුවයි
- දශක ගණනාවක් සාකච්ඡාවට ලක් වූ මල්වතු ඔය ව්‍යාපෘතිය ලබන වසරේ ආරම්භ කරනවා
- උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කර මහකනදරාව
දක්වා ජලය ගෙන යාමට සැලසුම් කර තිබෙනවා
- ජනපති
පවුල් 67,000ක පානීය ජල සැපයුම සහතික කෙරෙන ලංකාවේ දෙවන විශාලතම ජල ව්‍යාපෘතිය අද ආරම්භ කෙරෙනවා
- අමාත්‍ය වසන්ත සමරසිංහ
වත්මන් රජය යටතේ ජල සම්පාදන ක්ෂේත්රයේ නව පුනර්ජීවනයක්
- අමාත්‍ය සුසිල් රණසිංහ
රජයේ ශක්තිමත් සාර්ව ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට ස්ථාවර වී තිබෙනවා
- ශ්‍රි ලංකාවේ ජපාන තානාපති
වත්මන් ආණ්ඩුව ගොවි ජනතාව බලා ගන්නා ආණ්ඩුවක් බවත්, ඔවුන්ට වඩා හොඳ ජීවිතයක්, සමාජ වටිනාකමක් සහ ගෞරවයක් හිමි කර දීම රජයේ අරමුණ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පොහොර සහනාධාරය දෙගුණයකින් ඉහළ නැංවීම, දිට්වා සුළි කුණාටුව හමුවේ විනාශ වූ වගා බිම් සඳහා ඉතිහාසයේ වැඩිම වන්දි මුදල් ලබා දීම, වී මිලදී ගැනීම සඳහා ඉතිහාසයේ වැඩිම මුදල් වෙන් කිරීම මෙන්ම මහා පරිමාණ වාරි ජල ව්‍යාපෘතිවල කටයුතු යළි ආරම්භ කරමින් වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයීමට පියවර ගැනීම ඇතුළු ගොවි ජනතාව වෙනුවෙන් සැලකිය යුතු වැඩ කොටසක් රජය ඉටු කරමින් තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට අද (10) පෙරවරුවේ එක් වෙමිනි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, කැබිතිගොල්ලෑව, හොරොව්පතාන සහ කහටගස්දිගිලිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවතින කාලීන වකුගඩු අකරණ රෝගයට පිළියමක් ලෙස ප්‍රදේශයේ පවුල් ඒකක 67,000ක් සඳහා පිරිසිදු සහ සෞඛ්යාරක්ෂිත පානීය ජලය ලබා දීමේ අරමුණ පෙරදැරිව ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ සහ ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන මත නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
1990 දශකයේ සිට මෙම ප්‍රදේශවල ව්‍යාප්ත වන හඳුනාගත නොහැකි වකුගඩු (CKD) රෝගය සඳහා පිරිසිදු පානීය ජලය නොමැතිකම ප්‍රධාන හේතුවක් බව අනාවරණය වී තිබෙන බවත්, එබැවින් මෙම ව්‍යාපෘතිය හුදු යටිතල පහසුකම් සංවර්ධනයක් නොව, ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමක් බවත් ජනාධිපතිවරයා මෙහිදි පෙන්වා දුන්නේය.
ව්‍යාපෘතිය සඳහා සහයෝගය ලබා දුන් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය වෙතත්, ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙතත් ස්තූතිය පිරිනැමූ ජනාධිපතිවරයා ව්‍යාපෘතියෙහි කටයුතු නිසි කාලය තුළ අවසන් කර, එහි ප්රතිලාභ ජනතාවට ලබා දීමට සියලුදෙනා කැපවනු ඇති බවටද විශ්වාසය පළ කළේය.
එමෙන්ම ඉතිහාසය පුරා රට තුළ ජල ව්‍යාපෘති ක්‍රියාත්මක වුවද මේ වන තෙක් පිරිසිදු පානීය ජල පහසුකම හිමිව ඇත්තේ 60%ක (පවුල් ලක්ෂ 42-43) පමණ ජනතාවකට පමණක් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා වත්මන් ආණ්ඩුව රුපියල් කෝටි 2000ක් වැය කරමින් පානීය ජල සම්පාදන ව්‍යාපෘති 22ක වැඩ ලබන වසරේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවත්, පැරණි ව්‍යාපෘති දිගු කිරීම සහ නව ව්‍යාපෘති මගින් අලුතින් පවුල් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයකට නව ජල සැපයුම් ලබා දීමට අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කර තිබෙන බවත් පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,
මේ ගොවි ජනපදවල ජීවත්වන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම අරමුණු කරගෙනයි අපේ ආණ්ඩුව වැඩ කරන්නේ. ඔවුන්ට දැන් ජීවත්වන තත්ත්වයට වඩා හොද ජීවිතයක් උරුම කර දීම අපේ වගකීමක්. එපමණක් නොවෙයි ගොවි ජනතාවට දැනට හිමිව තිබෙන සමාජ වටිනාකමට වඩා ඉහළ සමාජ වටිනාකමක් සහ ගරුත්වයක් උරුම කර දීම අපේ වගකීමක් වෙනවා.
මේ ප්‍රදේශවල ජනතාව චක්‍රීය දුප්පත්කම නිසා ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. මේ චක්‍රීය දුප්පත්කමින් ඔවුන් ගොඩගැනීමට නම් ප්‍රධානම දේ වන්නේ අධ්‍යාපනයයි. ඒ නිසා අපි අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් සඳහා අවශ්‍ය පියවර තබා තිබෙනවා. එහිදී විශේෂයෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ 06 ශ්‍රේණියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. අපේ දරුවන්ට ලෝකයේ නවීන දැනුම උකහාගත හැකි පරිදි අධ්‍යාපන ක්ෂේත්රය පරිවර්තනය කළ යුතුයි.
ඒ වගේම අපේ රටේ බිඳ වැටී තිබෙන පාසල් පද්ධතිය ඉතා හොඳ පහසුකම් සහිත නවීකරණය වූ පාසල් පද්ධතියක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අපි ලබා දී තිබෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාලවල පවතින සියලු නේවාසිකාගාර ගැටලු විසඳීමට අපි අපේක්ෂා කරනවා. ඒ වගේම 2032 වසර වන විට වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 50ක් ලංකාවේ විවෘත කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. ඒ නිසා අපේ රටේ දරුවන්ට අනාගතයේ දොරටු විවෘත කළ හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි සිදු කරනවා. ඒ වගේම පාසල් දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා. අපි මේ රටේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ වගකීම භාරගත් ආණ්ඩුවක්.
ඒ වගේම ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් ඉහළ නංවමින් ඔවුන්ට නිරෝගී ජිවිතයක් උරුම කර දීමේ වගකීම අපි මේ වන විට ඉටු කරමින් සිටිනවා. දිවයින පුරා රෝහල් ඉදි කිරීම පමණක් නොවෙයි, සෞඛ්‍ය ක්ෂේත්රය මේ තිබෙන තැනින් ඉහළට ගෙන යා යුතුයි. රෝහල් සඳහා කොපමණ ගිලන් රථ ප්‍රමාණයක් අවශ්‍යද ඒ සියල්ලට 2027 වසරේදී මුදල් ලබා දීමට අපි තීරණය කර තිබෙනවා.
අද විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුණුව නිසා රෝග කලින් හඳුනා ගැනීම, ඉතා ඉක්මණින් සුවපත් වීම ඉහළ මට්ටමක පවතිනවා. ඒ සඳහා අවශ්‍ය උපකරණ මොනවද කියලා අපිට දැනුම් දෙන්න කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයට අපි උපදෙස් දුන්නා. ලබන වසරේදී අපි රුධිර කාන්දුකරණ (Dialysis) මධ්‍යස්ථාන 10ක් ඇති කරන්න සැලසුම් සකස් කර තිබෙනවා. අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය ඉහළට ගෙන ඒම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට අපි සූදානම්.
එපමණක් නොවෙයි, පානීය ජලය විශාල ගැටලුවක් බවට පත්ව තිබෙනවා. අපේ රටේ පළමු වකුගඩු රෝගියා හමු වුණේ 1990 දශකයේ මුල්භාගයේදී මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේදී. දශක ගණනාවක් යන විට එය ව්‍යාප්ත වීමට පටන් ගත්තා. අද වකුගඩු රෝගයෙන් පුද්ගලයෙක් මිය ගිය විට එය හඳුන්වන්නේ හඳුනා නොගත් වකුඩු රෝගය නිසා වකුගඩු අක්‍රිය වීමෙන් මිය යනවා කියලා. ඒ සඳහා පර්යේෂණ අපි ක්‍රියාත්මක කළ යුතුයි. වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගියෙක් සිටින පවුලක් මහා ඛේදවාචකයකට මුහුණ දෙනවා. ඒ නිසා වකුගඩු රෝගයට හේතුවක් ලෙස හදුනාගෙන ඇති පිරිසිදු පානීය ජලය අපි ගම්වල ජනතාවට ලබා දිය යුතුයි.
දශක ගණනාවක් අපේ රටේ පානීය ජල ව්‍යාපෘති ක්‍රියාත්මක වුණා. ජල සම්පාදන මණ්ඩලය, ප්‍රජා ජල සේවා මගින් දශක ගණනාවක් පානීය ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබෙනවා. හැබැයි ඒ මුළු කාලය තුළම අපේ රටේ 60%ක වගේ ප්‍රමාණයකට තමයි ජල සම්පාදන මණ්ඩලය සහ ප්‍රජා ජල සේවාවන් මගින් ජලය ලබා දෙන්නේ. 60% ජලය සපයන්න දශක කීයක් ගතවී තිබෙනවද? ආසන්න වශයෙන් ගත් විට පවුල් ලක්ෂ 42, 43කට ආසන්න ප්‍රමාණයකට තමයි පිරිසිදු පානීය ජලය ලබා දෙන්නේ. එය ඛේදවාචකයක්.
ඒ නිසා පසුගියදා මම සියලුම දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරු වෙන වෙනම කැඳවා දැනුම් දුන්නා තමන්ගේ ප්‍රදේශවල කවර හෝ ශක්‍යතා අධ්‍යයනයක් කර පානීය ජල ව්‍යාපෘති හඳුනාගෙන තිබෙනවා නම් එය දැනුම් දෙන්න, ඒ සියලු පානීය ජල ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා 2027 මුදල් වෙන් කිරීමට සූදානම් කියලා. ශක්‍යතා අධ්‍යයන සිදු කර අවසන් කර තිබෙන සෑම ජල ව්‍යාපෘතියක්ම ලබන වසරේ ආරම්භ කරනවා. ඒ අනුව අලුතින් ජල ව්‍යාපෘති 22ක්, ආසන්න වශයෙන් ගත් විට රුපියල් කෝටි 2,000ක් වැය කරමින් ලබන වසරේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. පැරණි ව්‍යාපෘති දිගු කිරීම සහ නව ව්‍යාපෘති මගින් අලුතින් පවුල් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයකට නව ජල සැපයුම් ලබා දීමට අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කර තිබෙනවා . මුළු ඉතිහාසයේම මෙම ප්‍රතිලාභය හිමිව තිබෙන්නේ පවුල් ලක්ෂ 43කටයි. පවුල් ලක්ෂ 10කට අලුතින් පානීය ජල සැපයුම් ලබා දීමේ ව්‍යාපෘති මේ වසරේ අපි ආරම්භ කරනවා.
එම ව්‍යාපෘති අතර තිබෙන මෙම අනුරාධපුර උතුර ජල ව්‍යාපෘතියෙන් ආසන්න වශයෙන් ගත් විට පවුල් 67,000කට ජලය ලබා දීමට හැකියාව ලැබෙනවා. මෙවැනි ව්‍යාපෘති ගණනාවක් අපි රට පුරා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. රටේ ජනතාවට පිරිසිදු පානිය ජලය ලබා දීම ආණ්ඩුවක වගකීමක්. එම වගකීම අපි ඉටු කරනවා.
අපේ ගොවි ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය කෘෂිකර්මාන්තයයි. මේ රටේ ගොවි ජනතාව බලා ගන්නා ආණ්ඩුවක් තමයි අද ඔබ මැදිහත්වී ගොඩනගා තිබෙන්නේ. කිසිදු ආණ්ඩුවක් මේ ප්‍රමාණයෙන් ගොවි ජනතාව බලාගත්තේ නැහැ. අපි ආණ්ඩුව භාරගන්නා විට පොහොර සහනාධාරය තිබුණේ රුපියල් 15,000යි. අද අපි එය දෙගුණයකින් වැඩි කර රුපියල් 30,000ක පොහොර සහනාධාරයක් ලබා දෙනවා. ඒ වගේම දිට්වා සුළි කුණාටුව හමුවේ වගා බිම් විශාල ප්‍රමාණයක් විනාශ වුණා. ඉතිහාසයේ වැඩිම වන්දි මුදල් ලබා දෙමින් අපි ගොවි ජනතාව බලා ගත්තා. පළමු වතාවට එළවළු,පළතුරු වගාවන් ඇස්තමේන්තු කර ඒ සඳහාද වන්දි ලබා දුන්නා. හානි වූ සියලු බෝග සඳහා ඉහළ වන්දියක් ලබා දුන්නා. ඒ වගේම සත්ව ගොවිපොළ සඳහා වන්දි ලබා දුන්නා. මේ අයුරින් ගොවි ජනතාව බලා ගන්නා ආණ්ඩුවක් මෙතෙක් ගොඩනැගී නැහැ. ඔබ ව්‍යසනයකට මුහුණ දුන් සෑම අවස්ථාවකම අපි ඒ සඳහා මැදිහත් වුණා. දිට්වා වලින් විනාශ වූ වැව් 65ක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ වගේම මේ උතුරු මැද පළාතේ විනාශ වූ ඇලවේලි ප්‍රතිසංස්කරණය සඳහා මේ වසරේ රුපියල් කෝටි 200ක් වෙන් කර තිබෙනවා.
එමෙන්ම, විශාල වාරිමාර්ග ව්‍යාපෘති ගණනාවක් අපි ආරම්භ කර තිබෙනවා. පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය දශක ගණනාවක් සාකච්ඡාවට ලක් වුණා. විලච්චිය, තන්තිරිමලේ ප්‍රදේශයේ ජනතාව විශාල ජල හිඟයකින් පෙළෙනවා. සියවස් ගණනාවක් මුළුල්ලේ මල්වතු ඔයේ විශාල ජල ධාරිතාවක් මහ මුහුදට ගලාගෙන යනවා. අපි තීරණය කර තිබෙනවා පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට. ආසන්න වශයෙන් ගත් විට ඒ සඳහා රුපියල් කෝටි 4,000ක් වැය වෙනවා. අපි මේ වසරේ එම ව්‍යාපෘතිය ආරම්භ කරනවා. ලබන වසරේ පමණක් කෝටි 700ක වැඩ අවසන් කිරීමට අපි උපදෙස් දී තිබෙනවා.
ඒ වගේම දීර්ඝ කාලයකට පෙර වැඩ ආරම්භ කළ උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතියේ වැඩ අතරමග නැවතී තිබෙනවා. එම ව්‍යාපෘතියද කඩිනමින් අවසන් කර මහකනදරා වැව දක්වා වතුර ගෙන ඒමට කටයුතු සැලසුම් කර තිබෙනවා. මේ ඓතිහාසික ගොවි බිම්වල සිටින ජනතාව බලා ගැනීම සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම අපේ වගකීමක්.
ඒ වගේම මහකන්නයේ, කන්නය පහු වී අස්වැන්න නෙළපු ජනතාවගේ වී මිලදී ගැනීමේ ගැටලුවක් මතු වුණා. ආණ්ඩුව වී මිලදී ගැනීමෙන් පසුව ඇතැම් ප්‍රදේශවල අස්වැන්න නෙළුවා. එම ජනතාව යම් ගැටලුවකට මුහුණ දි සිටිනවා. අපි එය විසඳනවා. ඒ වගේම යල කන්නයේ අස්වනු නෙළීම දැන් ආරම්භ වී තිබෙනවා. වී අස්වනු සාධාරණ මිලකට විකුණා ගන්න බැරිනම් එය ගොවි ජනතාවට සිදුවන අසාධාරණයක්. ඒ නිසා ගොවි ජනතාවට සාධාරණ මිලකට වී මිලදී ගැනීමට අපි උපරිමයෙන් මැදිහත් වී තිබෙනවා. අපි පහුගිය මහ කන්නයේ දස ලක්ෂ දහ දාහක වී මිලදී ගත්තා. අපි අයවැයෙන් එම මුදල් වෙන් කළේ යල සහ මහ දෙකන්නයේම වී මිලදී ගැනීමට. හැබැයි වී අළෙවි මණ්ඩලය එම මුදලින් මහ කන්නයේදීම වී මිලදී ගත්තා. ඒ අනුව යල කන්නයේ වී මිලදී ගැනීමට දස ලක්ෂ හය දාහක් වෙන් කළා. ඒ අනුව පසුගිය යල කන්නයේ සහ මේ මහ කන්නනයේ වී මිලදී ගැනීමට දස ලක්ෂ දහසය දහසක් වෙන් කර තිබෙනවා. ඒ වගේම මෙවර යල කන්නයේ නැවත වී මිලදී ගැනීම සදහා දස ලක්ෂ හයදාහක් වෙන් කළා. ඒ කියන්නේ පසුගිය යල කන්නය, මහ කන්නය සහ මෙවර යල කන්නයේදි ආණ්ඩුව දස ලක්ෂ විසි දෙදහසක් වී මිලදී ගැනීමට වෙන් කර තිබෙනවා.
ඒ වගේම අපි වී ගබඩා ප්රතිසංස්කණය කරමින් තිබෙනවා. පෞද්ගලික අංශයත් දායක කර ගනිමින් ගබඩා ධාරිතාව ඉහළ නංවා තිබෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයට වී මිලදී ගැනීමට අවශ්‍ය ණය මුදල් අඩු පොලී යටතේ ලබා දී තිබෙනවා. අපි පියවරින් පියවර ගොවි ජනතාවගේ ප්‍රශ්න විසඳමින් සිටිනවා. අද රටේ ජනතාව මේ ආණ්ඩුව සමග සිටිනවා. කිහිප දෙනෙකුගේ ගෝරනාඩු තිබෙනවා, ඒ කෙසේ වෙතත් ජනතාව ඉන්නේ මේ ආණ්ඩුව සමග කියන විශ්වාසය අපිට තිබෙනවා. ජනතාව අපේක්ෂා කරන එම පරිවර්තනය අපි ඇති කරනවා.
මෙම කටයුතුවලදී ජපාන රජය සහ ජයිකා ආයතනය අපිට විශාල සහායක් ලබා දෙනවා. 2022 වසරේ අපි ණය පැහැර හැරීම නිසා ජයිකා ආයතනය ක්‍රියාත්මක කළ සියලු ව්‍යාපෘති නතර වුණා. කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපෘතිය නතර වුණා. රූපවාහිනි ඩිජිටල්කරණ ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කළේ 2013 වසරේදී. වසර 13ක් ගත වී තිබුණත් ව්‍යාපෘතිය ආරම්භ කර නැහැ. අපි ඉතා ඉක්මණින් එම ව්‍යාපෘතිය ආරම්භ කර ඉක්මණින් එහි කටයුතු අවසන් කරනවා. ඒ වගේම කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපෘතිය අතරමග නතර වුණා. අපි එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ටෙන්ඩර් කැඳවා තිබෙනවා. මේ වසරේ ඔක්තෝම්බර්, නොවැම්බර් පමණ වන විට එම ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට හැකියාව ලැබේවි. ඒ සදහා ජපාන රජය දක්වන සහායට අපි ස්තූතිවන්ත වෙනවා.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා
අනුරාධපුරේ අපිට ජලය කියන්නේ ජීවිතය. මේ වැව් බැඳි රාජ්‍යය. එහෙත් බොන්න වතුර ටිකක් ගන්න ගියාම අපි සෑහෙන දුෂ්කරතාවයකට මුහුණ දෙනවා. මේ ප්‍රදේශයේ පාර දෙපැතේ වැඩිපුරම තියෙන්නේ වතුර විකුණන කඩ. එහෙම වුණේ බොන්න තියෙන වතුර උල්පත ගැන විශ්වාස නැතිවීම නිසයි. නළ ජලය ලබා ගන්න තව විශාල පිරිසක් ඉන්නවා. මේ ඉදිවන්නේ අක්කර දොළහක විශාල පිරිපහදු මධ්‍යස්ථානයක් සහිත දැවැන්ත ව්‍යාපෘතියක්. මෙහි සැපයුම් නළ කිලෝමීටර් 1500කට විහිදෙනවා. 67,000ක් ජල සැපයුම් සපයන, බිලියන 51ක් වියදම් කරන ලංකාවේ දෙවන විශාලතම ජල ව්‍යාපෘතිය අද ආරම්භ කෙරෙනවා.
මේ ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය වෙනුවෙන් ජනතාවාදී රජයක් ලෙස මෙවැනි විශාල ව්‍යාපෘති රැසක් අපි ආරම්භ කර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ නොච්චියාගම,ගිරිබාව ව්‍යාපෘතිය, එප්පාවල. ගල්නෑව, පයාගල ආදී ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වෙනවා. මේ රටේ ජනතාව ජනතාවාදී රජයක් බිහි කරමින් බලාපොරොත්තු වූ අරමුණ අපි ඉටු කරමින් සිටිනවා.
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ
කැබිතිගොල්ලෑව හොරොව්පතාන, කහටගස්දිගිලිය යන ප්‍රදේශවල ජනතාවට අද සුවිශේෂී දවසක්. සාමාන්‍යයෙන් මේ ප්‍රදේශ හඳුනාගෙන තිබෙන්නේ දුෂ්කර ප්‍රදේශ හැටියටයි. පහසුකම් නැති නගරෙන් බොහොම ඈත තිබෙන ප්‍රදේශයක් හැටියට තමයි මේ ප්‍රදේශය හඳුනාගෙන තිබෙන්නේ. එ වගේම වකුගඩු රෝග බහුල ප්‍රදේශයක්, දුප්පත් ගොවියෝ ඉන්න ප්‍රදේශයක්. දුප්පත්කම, දරිද්‍රතාවය, අඩු පහසුකම් තමයි මේ ප්‍රදේශයට ලැබිලා තිබෙන ලේබල්. නමුත් මේ ලේබලය අපි අපේ පාලන කාලය තුළ ගලවා දමනවා. සියලු පහසුකම් දීලා මේ ප්‍රදේශවල ජනතාවට හොඳ ජීවිතයක් ලබා දීම අපේ අපේක්ෂාවයි. මේ ජල ව්‍යාපෘතියෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා අඩිතාලමක් දැමීමටයි.
ජපාන රජයේ සහයෝගය ඇතිව ශ්‍රි ලංකා රජයේ මූල්‍ය දායකත්වය ඇතිව තමයි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ. එනිසා අපි ජපන් රජයටත් මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා. එක පෙළට ජල සම්පාදන ව්‍යාපෘති ගණනාවක් අපි ඉදිරියේදි විවෘත කරනවා. මුල් ගල් තබනවා. අද සවස තඹුත්තේගම දැවැන්ත ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත් කෙරෙනවා. තව සති කිහිපයකින් ලග්ගල ජල ව්‍යාපෘති අපි විවෘත කරනවා. තව මාස එකහමාරකින් පමණ පොල්ගහවෙල පොතුහැර ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කරනවා. ඒ වගේම පාතදුම්බර ජල ව්‍යාපෘතියත් ඉතා ඉක්මනින් ජනතා අයිතියට පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ජල සම්පාදන ක්ෂේත්රයේ සැලකිය යුතු වෙනසක්, පරිවර්තනයක්, පුනර්ජීවනයක් ඇති කිරීමට විශාල මුදලක් අපි ආයෝජනය කර තිබෙනවා. ඉදිරියටත් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනවා.
ශ්‍රී ලංකාවේ වැඩබලන ජපාන තානාපති KAMOSHIDA Naoaki මහතා
මෙම ව්‍යාපෘතිය සඳහා වෙහෙස මහන්සි වී වැඩ කළ සියලුම දෙනාගේ කැපවීම නිසා අපට අද මෙම මුල්ගල් තැබීමේ උත්සවය දැකබලා ගැනීමට හැකි වී තිබෙනවා. මෙම ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීම සඳහා අපි සැවොම එක්ව කටයුතු කරමු. ජලය නොමැතිව කිසිවෙකුට ජීවත් විය නොහැකියි. පිරිසිදු සහ ආරක්ෂිත පානීය ජලය ලබා ගැනීම ජනතාවගේ ජීවිත සඳහා අත්‍යවශ්‍ය වෙනවා. ජනතාවගේ ජීවනෝපාය රඳා පවතින කෘෂිකර්මාන්ත සඳහාද ස්ථාවර ජල සැපයුමක් වැදගත් වෙනවා. මෙම ව්‍යාපෘතිය මගින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 67,000කට පමණ ආරක්ෂිත පානීය ජලය ලබා දීමට අපේක්ෂා කෙරෙනවා. බොහෝ ප්‍රජාවන් දිගු කලක් තිස්සේ නිදන්ගත වකුගඩු රෝගයෙන් පීඩා විඳිනවා. මෙම ව්‍යාපෘතියේ ප්‍රතිඵල හැකි ඉක්මනින් ජනතාවට ලබා දීම සඳහා අපගේ ශ්‍රී ලාංකික පාර්ශ්වකරුවන් සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා ජපානය ස්ථාවර හවුල්කරුවෙකු ලෙස අඛණ්ඩව කටයුතු කරන බැවින් මෙම ව්‍යාපෘතිය විශාල සංකේතාත්මක වැදගත්කමක් දරනවා. ශ්‍රී ලංකාව සිය ණය ගෙවීම පැහැර හැරීමෙන් පසු ජපානයෙන් ලබා දුන් සහනදායී ණයකින් මූල්‍යකරණය වන මෙම ව්‍යාපෘතිය යම් කාලයකට අත්හිටුවීමට සිදු වූ බව සත්‍යයක්. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව අපගේ වැදගත් හවුල්කරුවෙකු බැවින්, ජපානය ඉන්දියාව සහ ප්‍රංශය සමඟ එක්ව රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡාවන්ට මග පෑදූ නිල ණය හිමියන්ගේ කමිටුවට නායකත්වය ලබා දුන්නා. එම කමිටුව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ වහාම, 2024 ජූලි මාසයේදී මෙම ව්‍යාපෘතිය සඳහා වන මුදල් නිකුත් කිරීම ඇතුළුව, ක්‍රියාත්මක වෙමින් පවතින සහනදායී ණය ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට තීරණය කළ පළමු රට ජපානයයි. ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවට විශ්වාසය දිනා ගැනීම සඳහා ක්‍රියාත්මක වෙමින් පවතින මෙම සහනදායී ණය ව්‍යාපෘති ඉතා වැදගත් වෙනවා. එබැවින්, මෙම ව්‍යාපෘතියේ ක්‍රියාත්මක කිරීමේ කටයුතු සාර්ථකව සිදුවීම පිළිබඳව මම ඉතා සතුටු වෙනවා . රජයේ ශක්තිමත් සාර්ව ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට ස්ථාවර වී තිබෙනවා. ශ්‍රී ලංකාව මේ වන විට ස්ථාවර වර්ධනයක් කරා නැවත ගමන් කිරීමේ තීරණාත්මක සන්ධිස්ථානයක පවතිනවා. විවිධ යටිතල පහසුකම් ව්‍යාපෘති මගින් ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහයෝගය ලබා දෙමින් සිටිනවා.
ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ (JICA) ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිත
Kuronuma Kenji මහතා
ශ්‍රි ලංකාවේ ජල සැපයුම් සේවාවන් වැඩිදියුණු කිරීම සඳහා ජපානය දක්වන අඛණ්ඩ කැපවීම මෙම ව්‍යාපෘතිය මගින් පෙන්නුම් කරනවා. නව ජල පවිත්රාගාර සහ ජල සම්බන්ධතා මගින් ග්‍රාම නිලධාරී වසම් 164ක පවුල් 67,000කට පමණ ආරක්ෂිත පානීය ජලය ලබා දීමට මෙම දෙවන අදියරේදී අපේක්ෂා කෙරෙනවා. මෙය ජනතාවගේ දෛනික ජීවිතයට මෙන්ම සමාජ-ආර්ථික සංවර්ධනයටද ඉමහත් පිටුවහලක් වනු ඇතී.
එමෙන්ම මෙම ව්‍යාපෘතිය මහජන සෞඛ්‍යය වෙනුවෙන් සිදුකරන විශාල ආයෝජනයක්. මෙය සුරක්ෂිත නොවන භූගත ජලය නිසා ඇතිවන නිදන්ගත වකුගඩු රෝගය (CKD) සහ දන්ත හා අස්ථි ආශ්රිත ෆ්ලෝරෝසිස් වැනි දිගුකාලීන සෞඛ්‍ය අවදානම් සඳහා විසඳුමක්. පිරිසිදු සහ විශ්වාසදායක පානීය ජලය ලබා දීම මගින් වඩාත් නිරෝගී සහ ශක්තිමත් ප්‍රජාවක් ගොඩනැගීමට උපකාරී වෙනවා.
ජයිකා ආයතනය, ශ්‍රී ලංකා රජය සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමඟ සමීපව කටයුතු කරමින් මෙම ව්‍යාපෘතිය නියමිත වේලාවට නිම කර ජනතාවට එහි ප්රතිලාභ හිමි කර දීමට කැපවෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතාද මෙහිදී අදහස් දැක්වීය.
පළාතේ මහා සංඝරත්නය සහ ආගමික නායකයන්ද, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා සහ පළාතේ මහජන නියෝජිතයන්ද, නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු එල්. කුමුදු ලාල් බෝගහවත්ත, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර, සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ටී. බාරතිදාසන් යන මහත්වරු සහ රාජ්‍ය නිලධාරිහුද, ප්‍රදේශවාසී ජනතාව ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.