Saturday, July 27, 2024
Follow Us
ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපය තුළ ඉතා ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් සපයන රටක්

දකුණු ආසියානු කලාපය තුළ ඉතා ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් සපයන රටක් ලෙස අපේ රට හදුන්වා දිය හැකි බවත්, මෙම වර්ෂයේදී සෞඛ්‍ය සේවාව සඳහා රුපියල් බිලියන 410 ක මුදලක් රජය වෙන් කර දී තිබෙන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

සෞඛ්‍ය ලේකම්වරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගියදා  (10) මහනුවර ජාතික රෝහලේ කළමනාකරණ කමිටුව සදහා සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සඳහන් කළේ මහනුවර ජාතික රෝහලට මේ වර්ෂයේ අවශ්‍ය උපකරණ පමණක් මිලදී ගැනීමට රුපියල් මිලියන 1000 ක මුදලක් වෙන් කර දී තිබෙන බවයි. එමෙන්ම මහනුවර රෝහලේ අවශ්‍ය ගොඩනැගිලි ප්‍රතිස්ථාපනය කිරීම සඳහා රුපියල් මිලියන 700 අධික මුදල් ප්‍රමාණයක් වෙන් කර දි තිබෙන බව ද පෙන්වා දුන් සෞඛ්‍ය ලේකම්වරයා   එහි ප්‍රගතිය විමසීමේදී  ඉතා හොද ප්‍රගතියක් ලබා තිබෙන බවත් පැවසීය.

මහනුවර ජාතික රෝහලේ රෝගී සත්තාර සේවාව ඉතාමත් විශිෂ්ට අන්දමින් පවත්වා ගෙන යන බව පෙන්වා දුන් ලේකම්වරයා රෝහලේ හදිසි ප්‍රතිකාර අංශය ‍ ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රසාදයට භාජනය වී තිබෙව බව ද සඳහන් කළේය.

එයට ප්‍රධානතම හේතුව වීශේෂඥ වෛද්‍යවරුන්,වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය, ඇතුලු සියලුම කාර්ය මණ්ඩලය ඉතාමත් කැපවීමෙන් සිදුකරන සේවාව බව සදහන් කළ ලේකම්වරයා  නුවර ජාතික රෝහල පමණක් නොව සමස්ථ රටේම රෝහල් පද්ධතිය ඉතාමත් ප්‍රශස්ත අන්දමින් සේවාව සපයන බව ද කීවේය.

මහනුවර ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස 2019 වර්ෂයේදී පත්කර ඇත. මහනුවර ජාතික රෝහල ශ්‍රී ලංකාවේ දෙවන විශාලම තෘතීයික සත්කාරක සේවා සපයන රෝහලයි. මෙම රෝහලේ ඉතිහාසය 18 වන සියවස දක්වා දිවයන අතර 1861 වසරේ දී වසූරිය රෝගය සදහා ප්‍රතිකාර කිරිමට මහනුවර දෙයියන්නේවෙල ප්‍රදේශයේ කුඩා ආරෝග්‍ය ශාලාවක් ලෙස ආරම්භ වී පසුව නාගරික රෝහලක්, මහ රෝහලක් සහ ශික්ෂණ රෝහලක් දක්වා සංවර්ධනය වෙමින් මෙරට දෙවන ජාතික රෝහල ලෙසින් ඉතිහාසයට එක්වේ.