Wednesday, February 04, 2026
Follow Us
සැවොම එකට එකතු වී රට ගොඩගනිමු- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

එකට එකතු වී නිද­හස ලැබුවා සේ ‘එකට එකතු වී රටත් ගොඩ ගනිමු’ යැයි නිද­හස් දිනය නිමි­ත්තෙන් සුබ පැතුම් එක්ක­ර­මින් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා සඳහන් කරයි.

ගෙවී ගිය වසර 78ක කාලය තුළ අග­ති­ගාමී නොවී රට පිළි­බඳ විමසා බැලු­ව­හොත් අප ලැබූ ජය­ග්‍ර­හණ රැසක් මෙන්ම පසු­බෑම් රැසක්ම හඳුනා ගැනී­මට හැකි ය. ඒවා පිළි­බඳ විචා­ර­ශී­ලීව විමසා බල­මින් වර්ත­මා­නයේ කට­යුතු කිරීම යහ­පත් අනා­ග­ත­ය­කට පද­න­මක් සැක­සී­මට හේතු වන බව සැම වටහා ගැනීම අත්‍යවශ්‍ය වූවක් බව ද ඒ මහතා සිය පණි­වි­ඩයේ සඳ­හන් කර තිබේ.

ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය සුරැ­කීම, ආර්ථි­කය ශක්ති­මත් කිරීම, සෞඛ්‍ය, අධ්‍යා­ප­නය, සමාජ සාර­ධර්ම, සංස්කෘ­තික උරු­ම­යන් ආදී ක්ෂේත්‍ර තුළ වැඩි දියු­ණු­වට මෙම 78 වසර තුළ බොහෝ සාධ­නීය පිය­වර රැසක් ගෙන ඇති බව නොර­හ­සකි. රටේ දළ ජාතික නිෂ්පා­දි­ත­යට සාපේ­ක්ෂව ජන­තා­වගේ ජීවන තත්ත්වය අභි­යෝ­ග­යට ලක් වූ බව ද අප වට­හා­ගත යුතු යැයිද එහි දැක්වේ. අතා­ර්කික දේශ­පා­ලන තීන්දු, බලය සඳ­හාම වූ වැඩ­පි­ළි­වෙළ ජන­ගත කර­මින් සිදු කරනු ලැබූ දේශ­පා­ල­න­මය බල හුව­මාරු තුළ රටේ ඉදිරි ගම­නට සිදුව ඇති අභි­යෝ­ග­කාරී තත්ත්වය මෙම නිද­හස් සැම­රුම තුළ පාට කණ්ණා­ඩි­ව­ලින් තොරව සොයා බැලිය යුතුය.

ඒක­පු­ද්ගල ආදා­යම, සෞඛ්‍ය සම්පන්න ආයු අපේ­ක්ෂාව, කායික හා මාන­සික සෞඛ්‍ය මට්ටම, සමාජ සහ­යෝ­ගී­තාව, ජීවි­තය ගැන තීරණ ගැනී­මට ඇති නිද­හස, ත්‍යාග­ශී­ලී­ත්වය හා දූෂ­ණ­යෙන් තොර­වීම නිර්ණා­යක ලෙස සල­කන සතුටු දර්ශ­කය මෙන්ම ලෝකයේ මානව සංව­ර්ධන දර්ශක මනිනු ලබන ප්‍රධාන මිනුම් දඬු වන සෞඛ්‍ය සම්පන්න ජීවි­තය, නිසි අධ්‍යා­ප­නය, යහ­පත් ජීවන තත්ත්වය වැනි අංශ පිළි­බඳ අප අද දකින්නේ සතු­ටු­දා­යක තත්ත්ව­යක් නොවේ යැයිද හෙතෙම සඳ­හන් කර ඇත. අප නිද­හස ලබා ගැනී­මේදී අපේක්‍ෂා කළ නිද­හස් සමා­ජය, නිද­හස් ආර්ථි­කය, නිද­හස් ජීවි­තය පම­ණක් නොව නිද­හ­සින් උරුම වූ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය, නීතියේ ආධි­ප­ත්‍යය වැනි කරුණු ද අද අප හමුවේ ඇත්තේ නිද­හස තහ­වුරු කළ යුතු අභි­යෝග ලෙස යි.

මේවා පටු දේශ­පා­ල­නය තුළ රාමු­ගත කළ යුතු හෝ එක් පාර්ශ්ව­ය­කට බල­පාන කරුණු ලෙස සලකා බැහැර කළ යුතු නොවේ. එබැ­වින් 78 වැනි නිද­හස් සැම­රු­මේදී අප බුද්ධි­මත්ව හා විම­ර්ශ­න­ශී­ලීව රටේ අභි­යෝග හඳු­නා­ගත යුත්තේ ලැබූ නිද­හස රටේ ස්වෛරී­ත්වය, ස්වාධී­න­ත්වය සහ ජන­තා­වගේ පර­මා­ධි­ප­ත්‍යය අනා­ගත පර­පුර වෙනු­වෙන් ශක්ති­මත් කොට පෝෂ­ණය කිරීමේ වග­කීම අප සතු වන බැවිනි.

ඒ සඳහා ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ප්‍රවා­හයේ සියලු බල­වේග එකට එක­තුව ක්‍රියා කළ යුතු යැයි අපි තරයේ විශ්වාස කරමු. ඒ සඳහා මෙම නිද­හස් සැම­රුම් දින සියලු දේශ­පා­ලන සිවිල් සංවි­ධාන හා සමස්ත ජන­තාව ශ්‍රී ලාංකි­ක­යන් වශ­යෙන් එකට එකතු විය යුතුය. අප නිද­හස ලබා ගත්තේ ද ජාති ආගම් හෝ වෙනත් සාධක මත වෙන්ව නොව එකට එකතු වීම තුළ ය. මේ මොහොතේ ද රටට අව­ශ්‍යව ඇත්තේද එවැනි එක­මු­තු­වක් බව ද ඔහු වැඩි­දු­ර­ටත් අව­ධා­ර­ණය කර ඇත.