Saturday, April 27, 2024
Follow Us
කොහුවල ගුවන් පාලමේ අවසන් අදියරේ ඉදිකිරීම් ගැන සොයා බලයි

කොහුවල සහ ඒ අවට ප්‍රදේශයේ පවතින අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස 2021 වසරේ ඉදිකිරීම් ආරම්භ කරන ලද කොහුවල ගුවන් පාලමේ අවසන් අදියරේ ඉදි කිරීම් නිරීක්ෂණය කිරීමට  ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (27) එක්විය.

කොවිඩ් අර්බුදය සහ ඉන් අනතුරුව රටක තුළ උද්ගත වූ තත්ත්වය හේතුවෙන් 2022 වසරෙදි එහි ඉදිකිරීම් කටයුතු අතරමඟ නවතා දැමීමට සිදුවු අතර  ඒ වන විට සම්පූර්ණ පාලමේ ඉදිකිරීම්වලින් විශාල ප්‍රතිශතයක් වැඩ අවසන් කොට තිබුණත් හංගේරියානු රජයේ ණය ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතියට ලැබිය යුතු මුදල් නවතා දමා තිබිණ.

දිගින් මීටර් 300ක් සහ පළලින් මීටර් 9.2 වන මෙම පාලමේ ඉදිකිරීම් එහි දේශීය කොන්ත්‍රාත් සමාගමේ අරමුදල් මත ඉදිකර අවසන් කිරීමට මේ වන විට පියවර ගෙන තිබේ. ඒ අනුව එහි අවසන් අදියරේ ඉදිකිරීම් නැවත ආරම්භය නිරීක්ෂණය කිරීම සඳහා එක්වූ අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ අදහස් දැක්වීය.

" රට තුළ යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු සියලු සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබාගත් විදේශ ණය ආධාර නැවත නොගෙවීම හේතුවෙන්  කොහුවල, ගැටඹේ ඇතුළු පාලම් මෙන්ම සියලුම මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රම වසර දෙකක පමණ කාලයක් නතරවී පැවතුණා. ජාත්‍යන්තර වශයෙන් බංකොලොත් රාජ්‍යයක් ලෙසට ශ්‍රී ලංකාව පත්වීමෙන් අනතුරුව විදේශීය රටවලට ගෙවිය යුතු ණය ගෙවීමේ නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කරගන්නා තෙක් ණය ආධාර නිදහස් කිරීම නතර වී තිබෙනවා. ඒ හේතුවෙන් ඉදිකිරීම් සමාගම් වලට ගෙවිය යුතු මුදල් නොගෙවීම මත සියලු සංවර්ධන ව්‍යාපෘති එකවර නතර වී තිබෙනවා. එම ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට කොපමණ අවශ්‍යතාවයක් පැවතුණත් එය නැවත සිදුකිරීමට හැකියාවක් ලැබුනේ නැහැ. ගැටඹේ සහ කොහුවල පාලම් ව්‍යාපෘති දෙක සඳහා හංගේරියානු රජයෙන් යුරෝ මිලියන 50ක ණය මුදලක් ලබාදී තිබෙනවා. නමුත් ලබාගත් ණය නොගෙවීම මත තවදුරටත් එම මුදල් මුදාහැරීම අත්හිටුවීමට එම රජය තීරණය කර තිබෙනවා.

 මේ වන විට ජනාධිපතිතුමාත් මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව, අනෙකුත් විදේශීය රටවල් එක්ව ණය ආපසු ගෙවීම පිළිබඳව තීරණාත්මක අවසන් සාකච්ඡා වලට එළැඹී තිබෙන බැවින් හංගේරියානු රජය දේශීය කොන්ත්‍රාත්කරුගේ මුදල් යොදවමින් ඉතිරි වී තිබෙන ඉදිකිරීම් ප්‍රමාණය අවසන් කිරීම සඳහාත් ණය ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව එම මුදල් කොන්ත්‍රාත්කරු වෙත නැවත ගෙවීමටත් යෝජනා කර තිබෙනවා.

දැනට පවතින තත්ත්වය මත වැඩි ප්‍රමාණයක් ඉදිකිරීම් අවසන් කර ඇති මෙම ගුවන් පාලමේ ඉතිරි ඉදිකිරීම් ඉදිකිරීම් සමාගමේ අරමුදල් යොදා ගනිමින් කෙටි කලක් තුළ එහි ඉදිකිරීම් අවසන් කිරීමට එකඟතාවය පළ කර තිබෙනවා. ඒ අනුව අද දින සිට ආරම්භ කෙරෙන අවසන් අදියරේ ඉදිකිරීම් තවත් මාස තුනක කාලයක් තුළ අවසන් කිරීමට කටයුතු කරනු ඇති.

 කෙසේ නමුත් නතර වී ඇති මෙවැනි ව්‍යාපෘති සියල්ල නැවත ආරම්භ කිරීමට හැකියාව ලැබෙන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමෙන් අනතුරුවයි."

මාර්ග සංවර්ධන අධිකාරිය වෙනුවෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ. ඩබ්. කණ්ඩම්බි මහතා, ව්‍යාපෘති අධ්‍යක්ෂ අයි.කේ.බද්දේගම මහතා ඇතුළු නිලධාරීන්, ඉදිකිරීම් භාරව කටයුතු කරන සමාගමේ නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම නිරීක්ෂණය සඳහා එක්ව සිටියහ.