Saturday, May 04, 2024
Follow Us
ආදරේ කරාට blackmail කරන්න බෑ!

ආදරය කියන්නේ ඉපදුන දවසේ ඉඳලා අපි හැමදෙනාටම අත්‍යවශ්‍ය දෙයක්. අම්මගේ,තාත්තගෙ ආදරෙන් පටන් අරගෙන පවුලේ නෑදෑ හිතවතුන්ගේ ආදරය විඳින අපි නොදැනුවත්වම යොවුන්විය කරා එළඹෙන්නේ හිතන්න බැරි වේගයකින්.

නව යොවුන් වියේ ඇතිවන ආදර සම්බන්ධතා, මේ අපි කලින් අත්දැකපු ආරක්ෂාව සහ සෙනෙහස මුල් කර ගෙන ඇතිවුණු ආදර සම්බන්ධතා වලට වඩා ටිකක් වෙනස්. ගැහැණු ළමයි පිරිමි ළමයි දෙගොල්ලටම මේක අලුත්ම අලුත් අත්දැකීමක් වෙනවා.

යොවුන් කාලයේ දී ඇතිවන ආදර සම්බන්ධතා බොහෝමයක් ඉතා වේගයෙන් ඇති වෙනවා වගේම නැති වෙලත් යනවා. අවාසනාවකට සමහරවිට මේ වගේ ප්‍රේම සම්බන්ධතා නැතිවෙලා ගිය වෙලාවල , මලක් කියා හිතපු ආදරය අවසානයේ මහා කලුගලක් වෙලා දිවි මග අවුරනවා. ජීවිතය ඉස්සරහට ගෙනියන්න බැරි තරමට අනෙක් පාර්ශ්ව ඔවුන්ව අපහසුතාවයට ලක් කරනවා.
"බ්ලැක්මේල්" ! මේක නීති විරෝධී ක්‍රියාවක්!!


ඕනෑම කෙනෙකුට තව කෙනෙකුට ආදරය කරන්නත් තමාට හිතැඟි පරිදි සබඳතාවලින් ඉවත්වීමටත් සම්පූර්ණ අයිතියක් තියෙනවා. එම නිදහසට බාධා වන ආකාරයට තව කෙනෙක් ඔබගේ පුද්ගලික තොරතුරු, ඡායාරූප හෝ වෙනත් ඕනෑම දෙයක් ඔබව බ්ලැක්මේල් කිරීමට භාවිතා කරන්නේනම් එයට විරුද්ධ වීමටත්, ඊට විරුද්ධව නීතිමය පියවර ගැනීමටත් ඔබට සහය වීමට ලංකාව තුළ ඉතාමත් හොඳ සේවා ජාලයක් පවතිනවා.
ඔබේ පුද්ගලික තොරතුරු සහ ඔබව අපහසුතාවයට පත්කිරීමට පහසුවෙන්ම යොදාගන්න පුලුවන් ආකාරයේ පින්තූර හුවමාරු කරගන්න හිතෙන සහ ඉල්ලීම් ඉදිරිපත්වෙන වෙලාවල ඒ ගැන ටිකක් බරපතල විදියට කල්පනා කරන්න නවයොවුන් වයසේ ඉඳන්ම සිද්ධවෙන බව මේ දවස්වල අහන්න දකින්න ලැබෙන නොයෙක් සිදුවීම් වලින් අපට පෙනෙනවා. ආදරයේ මූලිකම කාරණයක් වෙන එකිනෙකා කෙරෙහි නොවෙනස් ගෞරවය ඔබ පණ වගේ විශ්වාස කරන කෙනා ලඟ හැබෑවටම නැති වෙන්න ඉඩ තියෙන බව අපිට අමතක කරන්න බැහැ.


කොහොම වෙතත් නව යොවුන් ඔබව රැකගන්න ඔබටම පුලුවන්. දැනුමෙන් සහ හැකියාවලින් දිනෙන් දින දියුණුවෙමින් ලෝකය දිනන්න සැරසෙන අපේ අනාගතය වුන ඔබට, අවැසි සැමවිට සවියක් වෙන්න 1929 ජාතික ළමාරක්ෂක අධිකාරියේ උපකාර සේවාව දැන් නිරතුරුවම සූදානමෙන්.
බය නැතුව කතාකරන්න!

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය