Saturday, March 07, 2026
Follow Us
නුඹම පමණ ය !

ඝන නිල් කෙස් කළඹක් ඇති වැලි ඔරලෝසු සිරුරක් ඇති අම්මාට මෙන්ම කැටිති කැටිති ගැලවෙන හිස කෙසින් යුතු, පියයුරු බඩට එල්ලෙන, දත්මුල් දිය වුන අම්මාට කියමි;


දරුවන් වදාගෙන හදාගෙන උපාධිය සමත් උන, රැකියාවේ ඉහලටම ගිය අම්මාට මෙන්ම දරුවාට උපත දී ඉගෙනීමට රැකියාවට සමුදුන් අම්මාට කියමි;
මාලුපිණි හතරක් පහක් සමඟ රෑ බත පිසූ අම්මාට මෙන්ම පාං කාලට පරිප්පු හොද්දක් ඒදූ අම්මාට කියමි;
දරු නැළවිලි ගයා හිස අත ගා දරුවා නින්දට දැමූ අම්මාට මෙන්ම දවසේ මෙහෙයෙන් හෙම්බත්ව සිටියදී දරු දඟ වැඩ ඉවසනු නොහී සිඟිති පස්සාපැත්තට ගුටියක් දී දරුවා නින්දට යවා එලිවෙන තුරු ඒගැන හිතමින් හූල්ලන අම්මාට කියමි;
නුඹ නුඹ ගැන ආඩම්බර විය යුතුය,
සතුටු විය යුතුය.
නුඹ නුඹට ගෞරව කල යුතුය,
ප්‍රශංසා කරගත යුතුය.
නුඹ කරන්නෙ නුඹට හැකි උපරිමය බව නැවත නැවත මතක් කරගත යුතුය.
මන්ද,
අම්මා කෙනෙකු ලෙස යලි ඉපදුනු දිනයේ සිට
නුඹට නැති උන නුඹ ගැන
හොඳින්ම දන්නේ
නුඹම පමණ ය !