එක පුතෙක් තාත්තාගෙන් අහනවා ඔයා මොනවද අපි වෙනුවෙන් කලේ කියලා ..ඒක අහපු තාත්තා පුතාට මෙන්න මෙහෙම කියනවා....
උබේ අම්මාගෙ දෑස දැක්කේ
උස්ස පෙළ අන්තිමය වාරේ
පපුව ඇතුලෙන් සෙනෙහෙ වැඩුනා
විරෝධය පෑ ගෙවල් හමුවේ
හදවතේ නැගි ප්රථම ප්රේමය
තියන් හදවත කොනක රහසසේ
ලොවට හොරහින් ප්රේම කෙරුවා
තුනක් අවුරුදු ගෙවුනා විගසේ......................
හැංගි හැංගී කරපු ප්රේමය
අහුවෙලා මගෙ මවට එදිනේ
මාව ගෙදරින් පැන්නුවේ ඇය
දරු සෙනෙහසත් විකුණු විලසේ
නුබේ අම්මත් අරන් රැයෙහිම
නැවතුමක් නැති ගමන ආවේ
පුතේ වීදියෙ තමයි එදිනේ
අපේ රැය නම් පහන් කෙරුනේ.....................
කුලී ගෙදරක ඇරබුමක් ඇත
හුරු වෙන්න හුඟ කලක් ගෙවුනේ
කර ගැටය රැදි දෑත් දුටුවම
නුබේ මව ඉකි ගසා හැඩුවේ
අතට අහුවෙන කුලිය කර කර
ඉද්දිමයි සුබ පුවත ආවේ
අපේ ලෝකය එළිය දෙන්නට
උබත් අම්මගෙ කුසට ආවේ............................
වේල් දෙක තුන නොකා හිටියත්
කූලි ගෙට බෑ නුඹ ගේන්නට
රැයක් දවලක් නැතුව නින්දක්
හම්බ කෙරුවේ ඉඩම ගන්නට
චූටි කටු මැටි ගෙපැල ඇතුලට
කිරි සිනා හඬ රැගෙන එන්නට
පුතේ මන් නොවිදිනා දුක් විද
නුඹ ගෙනාවෙම අපේ පැලකට.......................
කාලේ වේගෙන් ඉගිලිලා ගිය
හැටිම පුදුමයි තාම හිතකට
කටු මැටිය තිබු අපේ ගෙපැලත්
මන්දිරය වී තැනුනා හැඩකට
නුඹත් ලොකුවී බලා ඉද්දිම
ලස්සනයි හරි හැඬට ඇන්දම
දෑසෙ කදුළක් ඉනුවා අදනම්
පුතේ නුඹ ඇහු ඒ වදනකට........................
ඉතින් අහපන් පුතේ මේ ටික
පියා හඬනවා පපුව ඇතුලේ
උබ වගේමයි හැඬට ඇන්දා
මාත් ඉස්සර තරුණ කාලේ
නුබේ ආ ගමනයත් එක්කම
හැඬ කරා මිස නුඹ ව රිසිසේ
මාත් අම්මත් අලුත් ඇඳුමක්
ගත්ත දිනයක් නෑනේ මතකේ....................
රසම ආහර නුඹ ට දීලා
බඩ ගින්න හැංගුවා විගසේ
ඉල්ලූ ඉල්ලූ දේම දුන්නත්
හුගක් නය බර හිතේ පැත්තේ
නුඹ ට අඩුවක් නොදී කුමරෙක්
වගේ හිටියත් ලොවක් මැද්දේ
තාම හංදියෙ මුට්ට උස්සන
පියා මන් මයි ලොවට රහසේ.......................
B.M.N.සඳූ බස්නායක