Thursday, October 15, 2026
Follow Us
කියන්නට අහන්නට කෙනෙක් නැති තරමට
කියන්නට අහන්නට කෙනෙක් නැති තරමට
තනිවෙලා මේ ලෝකෙ කවුරුත්ම නෑ මට
ඉඩ දිදී ගලන්නට මැදියමේ කඳුලට
පපු කුහර දැවෙනවා සුසුම් සැඩ පහරට.......

කඳුළු හැඩ දම දමා හැදුව මල් කැකුලට

ලෙයින් සිත්තම් කරමි පෙම තියෙන නුඹහට
දුන්නාට කඳුළු වැල් මේ තරම් මාහට
හිමිවෙන්න හැම සතුට පතන්නම් නුඹහට.......
 
නැති වුනත් සැනසුමක් නුඹ නැතුව දිවියට
වැටි වැටි නුඹ නමින් යදිමි හිස් අහසට
තෙතක් නැති නුඹෙ ලයේ මාව යළි තබනට
ඉඩක් නෑ කිසිදාක නුඹ ගිහින් ඈතට.....
මා දුටුව මගෙ සතුට ඔබ‍ට දුක වෙන්නැති
හැමදාම මා වැරදි ලෙසින් ඔබ දකින්නැති
කතාබහ කිරීමත් ඔබ‍ට රිසි නැතුවැති
ඒ නිසා මා අතැර ඔබ දුරක යන්නැති........
 
ලියා ලිපියක් තබමි අවසන්ම වරට
නුඹට නොහැඟුනු මාව වරක් හෝ දකිනට
පුරා දහඅට වසක් නුඹ එක්ක උන්නට
සමාවුව මැනවි මං නුඹට දුක දුන්නට..........
 
පාරවා ළය මඩල දුකම මට දුන්නාට
මා වැරදිමයි කියා ඔබ නිතර සිතුවාට
ආදරේ නමින් මා මෙලෙස දුක් වින්දාට
දන්නවා මා හොඳට දුකක් නෑ දැන් ඔබ‍ට.......
 
සැමියා නැති දා බිරිඳ නොවටිනා මැණිකකි
සෝ සුසුම් සමග පරවෙනා මල් කැකුලකි
අපවාද චෝදනා ගලන දියදහරකි
දරාගෙන ඉදිරියට යෑම මගෙ උරුමෙකි.......
 
හැකිවුනානම් අතැරදමා මට දුවන්න
දුවගිහින් බොහෝකල් දන්නවද අහන්න
ලතෙත් හිත් නැති නුඹෙන් මුකුත් නෑ යදින්න
සංසාරෙ යළි යලිත් එපා මුණ ගැහෙන්න........
 
කුරිරු වී පාරවා ගියත් දුර මා අතැර
 
නුඹට දුක නැතුව ඇති මා නමින් හිත පෙලන
තවත් නුඹ ගැන සිතා මෙහෙම කවි පද ලියන
සම්ප්‍රදායික ගැහැණි මම තමයි දුක උරුම......
 
ප. ලි -: සැමියා විසින් අතහැර දැමු බිරිඳක්, එකම වහලක් යට දිවි ගෙව්වද වදනක්වත් ඇය හා නොපවසන එම සැමියා කෙරෙහි තවමත් සිතෙහි පවතින ආදරය තනිව දරාගනිමින් සෝ තැවුල් උහුලමින් ගෙවන දිවිය පිලිබඳ ලියවුනු..... දුකම තැවරුනු කවි.........
 

තාරුන්යා පතිරගේ