Saturday, January 03, 2026
Follow Us
සැමියාට කොමාවක්
හරියටම මට වයස විස්සයි
උබත් එක්කල එද්දි පැනලා
එදා ඉඳලම දුකක් නම් මිස
සතුට නෑ කිසි දිනෙක විඳලා
ඉන්නවිට මයෙ මිනිහා කියු උබ
ගියාත් බේබදු කමට නැහිලා
තරු වලට හිරු එලිය දුන්නට
මගේ ලොව අද සදෙන් වැහිලා
________________________________________
පිටට ලෝකෙට පේන්නට නම්
උබ තමා මගෙ සතුට රැක්කේ
එබිල බැලුවොත් එහෙව් උන්ගෙත්
ඇත්තේම දඩ මස්ය බොක්කේ
මෙන්න මේ මිනිහාම විතරයි
එයින් යට මගෙ පපුව දැක්කේ
දැනුන උගෙ ආදරය පුදුමයි
ඒ නිසයි මන් හීන වික්කේ
________________________________________
තුරුල් කරගෙන තිබ්බ සෙනෙහස
තියෙනවද පෙර දුටුව
එහෙම ඉඳලත් රෑට හිස් බඩ
උබ වටේටම නැටුව
එහෙව් හින්දා අලුත් පොතකින්
පෙරලුවා මුල් පිටුව
උබ තමයි වැට බැන්දෙ රන් කද
පනින්නට මට කොටුව
________________________________________
පලුදු කර කර දුන්න ආදරෙ
පෙති හැලුන පසු පමාව
උබගෙ සෙනෙහෙන් බිදක් වත් මට
නොලැබු හින්දයි නිමාව
ඉවසලම බැරි තැනයි තිබ්බේ
උබගෙ සෙනෙහෙට කොමාව
වැරදිනම් මම නෙමෙයි රං කද
එපා මට නම් සමාව
 
-කවිකාරයා