Monday, April 29, 2024
Follow Us
බිරාන්තව සලිත වී
නොවී එදිරි
අවුරුදු සිරි..
මහ රෑ දෙගොඩහරි
පුපුරවති රතිඤ්ඤා
හෙණ හඬද පතුරමින්
වන ලැහැබ අතු පතර
සැඟව හිඳ කල් ගෙවන
අප ගැනත් සිතනු මැන මිනිසුනේ
මිහිමඬල සිසාරා පැතුරුණු
සුවහසක් සත්ව කැළ
උරුමයකි ඔබ මෙන්ම අපගේද
රැක ගැනුම යුතුකමකි
අනෙකාගෙ නිදහසට
ඇති නොකොට හිරිහැර
මහ පොළොව වනාන්තර
නිජබිමය අප සැමගෙ
එකිනෙකා සුහද ලෙස
හැසිරුනොත් නිරන්තර
අනෙකාට නොමවේය
කිසියම්ම හිරිහැර
තුරුළු වී දරුපැටව්
බිරාන්තව සලිත වී
නැගෙන හඬ නොම හැඳින
මර බියෙන් පීඩිතව
ගුලිගැසී ඉකි බිඳියි
වෙන්කොට අපෙන් උදුරාගෙන
තබාගෙන ඇති සිරමැඳිරි තුළ
අපගේම පෙළක් සොයුරු කැළ
නිදහස ඉල්ලා හඬන හඬ
නොගැටේද ඔබ සවන් තුළ
ඔබේ මහඋළු ගෙවල්වල
සත්සියයක් නිදහස ලබන සඳ
සිරකළ අපේ එවුන් හට
කවදා හිමිවේද එකී නිදහස
අනෙකාගෙ දුක කඳුල
වේදනා දැන හැඳින
පිරිපුන් මිනිසෙක්ව
උදාරත්වයෙන් සබැඳි
උදාවන සමාජයක
පුරුකක්ව එක්වන්ව
පෙළ ගැසෙමු සොයුරනි!
✍️ සුමනසිරි වේරගම.